එළිදරව් 10 - සිංහල කාලීන පරිවර්තනයදේව දූතයාගේ කුඩා පොත 1 ඉන්පසු වෙනත් බලවත් දේව දූතයකු ස්වර්ගයෙන් බැස එනවා මම දුටුවෙමි. වලාකුළක වෙළී, හිසට ඉහළින් දේදුන්නක් ඇතිව සිටි ඔහුගේ මුහුණ හිරුට සමාන විය; ඔහුගේ කකුල් ගිනි කුලුනු බඳු විය. 2 ඔහුගේ අතේ දිග ඇරුණු කුඩා ඇකුළුම් පොතක් විය. තම දකුණු පය මුහුදේ ද තම වම් පය ගොඩබිම ද තබාගෙන සිටි ඔහු, 3 සිංහ ගර්ජනාවක් වැනි උස් හඬකින් කෑගැසී ය. ඔහු කෑ ගැසූ කල, ගිගුරුම් හත හඬ නැංවී ය. 4 ගිගුරුම් හත හඬ නැංවූ කල, මම ලියන්නට සැරසුණෙමි; එහෙත්, “ගිගුරුම් හත පැවසූ දෑ මුද්‍රා තබන්න; එය ලියන්න එපා” යි ස්වර්ගයෙන් ආ කටහඬක් පවසනු මට ඇසිණි. 5 එවිට මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටිනු මා දුටු දේව දූතයා ස්වර්ගය දෙසට තම දකුණු අත ඔසවා, 6 ස්වර්ගය හා එහි ඇති සියල්ලත්, පොළොව හා එහි ඇති සියල්ලත්, මුහුද හා එහි ඇති සියල්ලත් මැවූ, සදාතනයෙන් සදාතනයට ජීවත් වන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, “තවත් පමා වන්නේ නැත කියා ද 7 එහෙත් හත්වන දේව දූතයා හොරණෑව පිඹින්නට සැරසෙන දවස්හි දෙවියන්වහන්සේ තම සේවකයින් වූ දිවැසිවරුනට ප්‍රකාශ කළ ලෙස, උන්වහන්සේගේ අබිරහස ඉෂ්ට කරනු ලැබේ ය කියා ද” පැවසී ය. 8 එවිට, ස්වර්ගයේ සිට මා අමතනු මා අසා තිබූ කටහඬ යළිත් මා අමතමින්, “යන්න; මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටින දේව දූතයා අතේ දිග ඇර ඇති ඇකුළුම් පොත ගන්නැ” යි පැවසී ය. 9 එබැවින් ඒ දේව දූතයා වෙත ගිය මම ඒ කුඩා ඇකුළුම් පොත මට දෙන්නැයි කීවෙමි. එවිට ඔහු, “ගන්න; ගෙන එය කන්න. එය ඔබේ බඩ තිත්ත කරනු ඇත. ‘එහෙත් එය ඔබේ මුවෙහි මී පැණි සේ මිහිරි වනු ඇතැ’ යි” කීවේ ය. 10 දේව දූතයා අතින් මම ඒ පොත ගෙන කෑවෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විය. එහෙත් මා එය කා නිම වූ කල මගේ බඩ තිත්ත විය. 11 එවිට, “බොහෝ ජනයා ද ජාතීන් ද භාෂා ද රජුන් ද පිළිබඳව ඔබ යළිත් දිවැසි වැකි කිය යුතු යැ” යි මට කියන ලදී. |
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම
සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.
Sinhala Contemporary Version™, New Testament
Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
Used with permission. All rights reserved worldwide.
Biblica, Inc.