Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

3 යොහන් 1 - සිංහල කාලීන පරිවර්තනය

1 සභා-මූලිකයා වෙතින්, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන ප්‍රේමණීය ගායස් වෙත;

2 ප්‍රේමණීයය, ඔබ ආත්මයෙන් සඵලව සිටින අයුරින්, අන් සියල්ලේදීත් සඵල වන ලෙස හා ඔබ නිරෝගී සුවයෙන් සිටින ලෙස, මම යාච්ඤා කරමි.

3 මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි.

4 මාගේ දරුවන් සත්‍යයෙහි පැවත සිටින වග ඇසීමට වඩා මහා ප්‍රීතියක් මට නැත.

5 ප්‍රේමණීයය, ඔබට මේ සහෝදරයින් අමුත්තන් වුව ද, ඔවුන් උදෙසා ඔබ කරන සියලු දෑ විශ්වාසනීය ය.

6 ඔබගේ ප්‍රේමය ගැන ඔවුහු සභාව ඉදිරියේ සාක්ෂි දැරූහ. දෙවියන්වහන්සේට ඔබින පරිද්දෙන්, ඔබ ඔවුන්ගේ ගමනට උපකාර කරන්නේ නම් යහපති.

7 මන්ද අන්‍ය-ජාතීන්ගෙන් කිසිවක් නො පිළිගනිමින් ඔවුන් පිටත්ව ගියේ, (උන්වහන්සේගේ) නාමය උදෙසා ය.

8 එබැවින් සත්‍යය උදෙසා හවුල් වැඩකරුවන් වන පිණිස, එබඳු අයට අප උපකාර කළ යුතුම ය.

9 මා සභාවට ලියා යැවූ නමුදු මූලිකයා වීමට කැමති දියෝත්‍රපස් අප නො පිළිගනී.

10 එබැවින් මා පැමිණියහොත්, අපට එරෙහිව ඔහු නගන නපුරු කතා එළි කරන්නෙමි. ඔහු එයින් ද නො සෑහී සහෝදරයින් පිළිගැනීම ද ප්‍රතික්ෂේප කරයි; එසේ පිළිගන්නට කැමති වූවන් ද වළකමින් ඔවුන් සභාවෙන් නෙරපා හරියි.

11 ප්‍රේමණීයය, නොහොඳ අනුගමන නො කර, හොඳ දෑ අනුගමන කරන්න. හොඳ කරන්නා දෙවියන්වහන්සේගෙනි. නපුර කරන කවරකු වුව ද දෙවියන්වහන්සේ දැක නැත.

12 දෙමිත්‍රියස් ගැන සැවොම හොඳ කියති. සත්‍යය පවා එය සනාථ කරයි. අපත්, අපගේ සාක්ෂිය ඊට එකතු කරන්නෙමු. අපගේ සාක්ෂිය සත්‍ය වග ඔබ දනී.

13 ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි.

14 ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.

15 ඔබට සාමය වේවා! මෙහි සිටින මිතුරෝ ඔබට ආචාර කරති. නම් වශයෙන් මිතුරන් හැම කෙනකුටම ආචාර කරන්න.

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්