Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 යොහන් 1 - සිංහල කාලීන පරිවර්තනය


ජීවනයේ වචනය මාංසවත් වීම

1 පටන්ගැන්මේ සිට තිබූ, අප අසා ඇති, අපේ ඇස්වලින් අප දුටු, අප බැලූ, අපේ අත්වලින් අප ඇල්ලූ ජීවනයේ වචනයාණන් සම්බන්ධව ය.

2 එම ජීවනය පැහැදිලිව දක්වන ලදී; අපි එය දුටුවෙමු. එබැවින් අපි ඒ ගැන සාක්ෂි දෙමින්, පියාණන්වහන්සේ සමඟ සිටියා වූ, අපට දක්වනු ලැබූ සදාතනික ජීවනය ගැන ඔබට ප්‍රකාශ කරන්නෙමු.

3 අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.

4 අප මෙය ලියන්නේ අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය.


ආලෝකය සහ අන්ධකාරය

5 උන්වහන්සේගෙන් අප ඇසූ, අප ඔබට ප්‍රකාශ කරන පණිවුඩය මෙයයි: දෙවියන්වහන්සේ ආලෝකය ය; කිසිම අන්ධකාරයක් උන්වහන්සේ තුළ නැත.

6 අප අන්ධකාරයේ ඇවිදිමින්, අපේ සහභාගිත්වය උන්වහන්සේ සමඟ ය කියනවා නම්, අප කියන්නේ බොරු ය; සත්‍යයෙහි පැවතීමක් ද නැත.

7 එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.

8 අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත.

9 අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.

10 අප පව් කර නැතැයි අපි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයකු කරමු; උන්වහන්සේගේ වචනය ද අප තුළ නැත.

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්