Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 තෙසලෝනික 4 - සිංහල කාලීන පරිවර්තනය


දෙවිඳුන් ප්‍රසන්න දිවියකට

1 අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක්ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි.

2 යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය.

3 දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි.

4 ඔබ හැම කෙනකුම ශුද්ධවූත්, ගෞරවණීයවූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ,

5 දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි.

6 මේ සම්බන්ධව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.

7 මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය.

8 එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.

9 සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි.

10 සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක්ම ඉල්ලන්නෙමු.

11 අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කරගන්න.

12 එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.


සැතපී සිටින්නන් ගැන

13 සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.

14 යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙසම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

15 ස්වාමින්වහන්සේගේම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරිව ජීවත්ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි.

16 මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.

17 එවිට, තවමත් ඉතිරිව ජීවත්ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසොවාගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු.

18 එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.

ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම

සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි.

Sinhala Contemporary Version™, New Testament

Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.

Used with permission. All rights reserved worldwide.

Biblica, Inc.
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්