Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හෙබ්‍රෙව් 3 - Sinhala Revised Old Version


ක්‍රිස්තුස්වහන්සේ මෝසෙස්ට වඩා උතුම් බව

1 එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.

2 මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.

3 ගෘහයට වඩා ගෘහය සෑදූ අයට ගෞරවය තිබෙන්නාක්මෙන්ම, මුන්වහන්සේ මෝසෙස්ට වඩා ගෞරවය ලබන්ට වටිනසේකැයි ඒත්තුගන්නාලද්දේය.

4 මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.

5 සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය;

6 නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.

7 එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,

8 කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්න.

9 එහිදී නුඹලාගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.

10 එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය.

11 ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමියි කියන ලෙස,

12 සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.


කෙළවර දක්වා විශ්වාසවම සිටිය යුතු බව

13 නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.

14 මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,

15 අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.

16 එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවූවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද?

17 තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?

18 තමන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?

19 මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්