හිතෝපදේශ 7 - Sinhala Revised Old Versionඅනාචාරි ස්ත්‍රීගේ මරණීය උපා 1 මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. 2 මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න. 3 ඒවා නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න. 4 අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස 5 ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න. 6 මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී, 7 මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යෞවනයන් අතරේ ඉන්නවා දුටිමි. 8 ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි, 9 ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය. 10 එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය. 11 ඈ ඝෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි. 12 ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය. 13 මෙසේ ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට: 14 ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි. 15 එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය. 16 මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ. 17 සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි. 18 එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්රීතිවෙමු. 19 මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය. 20 ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය. 21 ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. 22 ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, 23 මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය. 24 එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න. 25 නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න. 26 මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුම්කෑ අය මහත් සමූහයක්ය. 27 ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය. |
Ceylon Bible Society
Ceylon Bible Society