Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 2 - Sinhala Revised Old Version


ප්‍රඥාවේ මාහැඟිකම

1 මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන,

2 ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්,

3 එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්,

4 නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,

5 නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.

6 මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.

7 උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක.

8 එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.

9 එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.

10 මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;

11 සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය;

12 නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය.

13 ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති;

14 ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති.

15 ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.

16 එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉච්චාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,

17 තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත.

18 මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය.

19 ඇය ළඟට යන්නන්ගෙන් කිසිවෙකු හැරී එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත් නැත.

20 මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.

21 මක්නිසාද අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය.

22 නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්