Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 18 - Sinhala Revised Old Version

1 තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.

2 අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.

3 දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය.

4 මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥාව නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය.

5 දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.

6 අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඬගසයි.

7 අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය.

8 කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි.

9 තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.

10 ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.

11 පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,

12 විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

13 අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.

14 මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?

15 තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.

16 මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,

17 තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.

18 පසඇටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.

19 කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.

20 මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි.

21 මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

22 භාර්යාවක සොයන්නා යහපතක් සොයාගන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ.

23 දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.

24 බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්