Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 13 - Sinhala Revised Old Version

1 ඥානවන්ත පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.

2 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලයෙන් යසස භුක්තිවිඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ ප්‍රාණය බලාත්කාරය විඳියි.

3 කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.

4 අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.

5 ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.

6 ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.

7 කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති.

8 මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.

9 ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවීයයි.

10 උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.

11 සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.

12 පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.

13 දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

14 ප්‍රඥාවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.

15 හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය.

16 බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුව ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.

17 දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.

18 අවවාදය පිළි නොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවටුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.

19 ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය.

20 ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

21 විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.

22 සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.

23 දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති.

24 ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.

25 ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්