Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 12 - Sinhala Revised Old Version

1 අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය.

2 සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.

3 මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.

4 ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.

5 ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.

6 දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.

7 දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය.

8 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.

9 කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය.

10 ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.

11 තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය.

12 දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය.

13 තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.

14 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.

15 මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය.

16 මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.

17 සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.

18 කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

19 සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

20 නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.

21 ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය.

22 බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

23 බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.

24 කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.

25 මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමීයයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්තෝෂකරයි.

26 ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.

27 අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි; එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ඝ සම්පතක්ය.

28 ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්