Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 11 - Sinhala Revised Old Version

1 හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.

2 උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.

3 ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

4 උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.

5 නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.

6 ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.

7 දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.

8 ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.

9 අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.

10 ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි.

11 ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.

12 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.

13 කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි.

14 ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.

15 අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.

16 ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය; බලාත්කාරකම්කරන්නෝ වස්තුව රැකගනිති.

17 කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.

18 දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.

19 ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය.

20 වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.

21 අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.

22 ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය;

23 ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.

25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.

26 ධාන්‍ය නොදෙන්නාට සෙනඟ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.

27 යහපත ගැන වීර්යකරන්නා කරුණාව සොයන්නේය; එහෙත් නපුර සොයන්නාට ඒකම පැමිණෙන්නේය.

28 තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.

29 තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්‍රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.

30 ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයක්ය; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙක්ය.

31 බලව, ධර්මිෂ්ඨයා පොළොවේදී ප්‍රතිඵල විඳින්නේය; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පව්කාරයාටත් විපාක නොලැබෙන්නේද!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්