Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 10 - Sinhala Revised Old Version


නානාවිධ හිතෝපදේශ (22:16 දක්වා)

1 සාලමොන්ගේ හිතෝපදේශය. ඥානවන්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඥාන පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.

2 දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.

3 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.

4 අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.

5 ග්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්ය; ගොයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.

6 ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.

7 ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.

8 ප්‍රඥාවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.

9 ඇද නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇදකරගන්න අය අසුවනු ලබන්නේය.

10 ඇසින් ඉඟිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.

11 ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.

12 වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.

13 නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සම්බවේ. එහෙත් තේරුම්නැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.

14 ඥානවන්තයෝ දැනගැන්ම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළඟම විනාශය ඇත්තේය.

15 ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුප්පතුන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.

16 ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.

17 ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.

18 වෛරය සඟවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඥානයෙක්ය.

19 වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.

20 ධර්මිෂ්ඨයාගේ දිව අනර්ඝ රිදී මෙන්ය; දුෂ්ටයන්ගේ සිත අගය නැත.

21 ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම් මදිකම නිසා මියයෙති.

22 ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

23 නපුරුකම්කිරීම අඥානයාට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥාවත් එසේමය.

24 දුෂ්ටයා භයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය.

25 සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සදහටම අත්තිවාරමක්ය.

26 දත්වලට කාඩිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.

27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.

28 ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.

29 ස්වාමීන්වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.

30 ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක් නොලැබේ.

31 ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥාව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිඳදමනු ලැබේ.

32 ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්