සෙකරියා 5 - Sinhala Revised Old Versionඉගිලෙන අකුළාපු පොත නම්වූ දර්ශනය 1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි. 2 නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කීමි. 3 එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය. 4 ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. 5 එවිට මා සමග කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය. 6 ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය. 7 (බලව, ඊයම් තලෙන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය. 8 ඔහු: මෑ නම් දුෂ්ටකමයයි කියා. ඇය ඒඵාව ඇතුළට හෙළා, එහි කටට ඊයම් බර තැබුවේය. 9 එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය. 10 එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. 11 ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය. |
Ceylon Bible Society
Ceylon Bible Society