Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

සෙකරියා 2 - Sinhala Revised Old Version


මනින ලනුව ඇති මනුෂ්‍යයා නම්වූ දර්ශනය

1 තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි.

2 එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය.

3 එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට:

4 නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.

5 මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.

6 හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් නුඹලා විසිරෙවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

7 මෙන්න, බබිලෝන් දුව වෙත වසන සියොන්, මිදී වරෙන්න.

8 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.

9 එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේ මා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත.

10 සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතිවෙන්න. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසයකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

11 ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.

12 ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.

13 මාංසමයවූ සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්