Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

සෙකරියා 1 - Sinhala Revised Old Version


ආරම්භය. පසුතැවිලිවීමට ආරාධනාව

1 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ:

2 ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක.

3 එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

4 නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

5 නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද?

6 නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.


රතු අශ්වයෙකු පිට නැගී ඉන්නෙක් නම්වූ දර්ශනය

7 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ ෂෙබාට් නම්වූ එකොළොස්වෙනි මාසයේ විසිහතරවෙනිදා ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමිණ මෙසේ කීයේය:

8 මම රාත්‍රියේදී බලා මනුෂ්‍යයෙක් රතු අශ්වයෙකු පිට නැගී ඉන්නවා දුටිමි, ඔහු පහළ තිබුණු රටමරඳ ගස් අතරේ සිටියේය; ඔහුට පිටිපස්සේ රතුවූ දුඹුරුවූ සුදුවූ අශ්වයෝ සිටියෝය.

9 එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය.

10 එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ට ස්වාමීන්වහන්සේ විසින් ඇරිය තැනැත්තෝයයි කීවේය.

11 ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන්වහන්සේගේ දූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය.

12 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.

13 ස්වාමීන්වහන්සේ මා සමග කථාකළ දූතයාට යහපත්වූ සැනසිලිදායක වචනවලින් උත්තර දුන්සේක.

14 මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි.

15 නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය.

16 එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය.

17 නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.


අං සතර සහ ආචාරියන් සතර දෙනා නම්වූ දර්ශනය

18 තවද මාගේ ඇස් ඔසවා බැලූ විට අං සතරක් දුටිමි.

19 එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය.

20 ස්වාමීන්වහන්සේද ආචාරියන් සතරදෙනෙකු මට පෙන්වූසේක.

21 එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්