මතෙව් 17 - Sinhala Revised Old Versionඅන්වෙසක්වීම 1 සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගියසේක. 2 උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය. 3 බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කථාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය. 4 පේතෘස් උත්තරදෙමින් යේසුස්වහන්සේට කථාකොට: ස්වාමිනි, අපට මෙහි සිටීම යහපත; ඔබ කැමතිසේක්නම්, ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මෙහි මණ්ඩප තුනක් සාදන්නෙමියි කීවේය. 5 ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය. 6 ගෝලයෝ ඒ අසා, මුහුණින් වැටී, අතිශයින් භය පත්වූවෝය. 7 යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක. 8 ඔව්හු ඇස් ඔසවා බලා, යේසුස්වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝය. 9 ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක. 10 උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 11 උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. 12 නුමුත් නුඹලාට කියමි–එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේයයි ඔවුන්ට කීසේක. 13 උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය. අපස්මාර රෝගීවූ ළමයාට සුවකිරීම 14 ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ: 15 ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි. 16 ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය. 17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක. 18 යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය. 19 එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය. 20 උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; 21 කිසිවක් නුඹලාට බැරි නොවන්නේයයි කීසේක. යේසුස්වහන්සේ තමන්ගේ මරණය ගැන නැවත කීම 22 ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේය; 23 ඔව්හුද ඔහු මරන්නෝය, නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක. එවිට ඔව්හු අතිශයෙන් ශෝකවූවෝය. මාළිගා බද්ද ගෙවීම 24 ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල් භාගය නොගෙවනසේක්දැයි කීවෝය. 25 ගෙවනසේකැයි ඔහු කීවේය. ඔහු ගෙට ආ කල යේසුස්වහන්සේ පළමුවෙන් ඔහුට කථාකොට: සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි කීසේක. 26 අන්‍යයන්ගෙන්යයි ඔහු කී කල යේසුස්වහන්සේ කථාකොට: එසේ නම් පුත්‍රයෝ නිදහස්ය. 27 නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society