විනිශ්චයකාරයෝ 17 - Sinhala Revised Old Versionමීකාගේ රූපය සහ පූජකයා 1 එප්‍රායිම් කඳු රටේ මීකා නම් මනුෂ්‍යයෙක් සිටියේය. 2 ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය. 3 ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත නුඹට දෙමියි කීවාය. 4 ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කම්කරුවාට දුන්නාය, ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය. 5 මීකා නම්වූ මනුෂ්‍යයාට දේවාලයක් තිබුණේය, ඔහු ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද සාදා, තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත්කෙළේය. 6 ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය. 7 යූදා පෙළපතට අයිතිවූ, යුදයේ බෙත්-ලෙහෙමේ සිට ආවාවූ එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේය, ඔහු එහි වාසයකෙළේය. 8 ඒ මනුෂ්‍යයා තමාට සිටීමට තැනක් සොයන පිණිස යුදයේ බෙත්-ලෙහෙම් නුවරින් පිටත්ව ගොස් ගමන්කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමුණුණේය. 9 නුඹ කොතැනින් ආවාදැයි මීකා ඔහුගෙන් ඇසීය. ඔහුද: මම යුදයේ බෙත්-ලෙහෙමේ ලෙවීයයෙක්ය, මට සිටීමට තැනක් සොයා යමියි කීවේය. 10 එවිට මීකා: මා සමඟ වැස මට පිය කෙනෙක්ද පූජකයෙක්ද වෙන්න, මම නුඹට අවුරුදුපතා රිදී දසයක් හා ඇඳුම් කුට්ටමකුත් කෑමත් දෙන්නෙමියි ඔහුට කීවේය. 11 එවිට ලෙවීයයා ඇතුල්වී, ඒ මනුෂ්‍යයා සමඟ වසන්ට සතුටු විය; ඒ තරුණයා ඔහුට ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් වූයේය. 12 මීකා වනාහි ඒ ලෙවීයයා පත්කෙළේය, තරුණයා මීකාට පූජකයෙක් වී ඔහුගේ ගෙයි විසීය. 13 එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය. |
Ceylon Bible Society
Ceylon Bible Society