විනිශ්චයකාරයෝ 14 - Sinhala Revised Old Versionසම්සොන් පිලිස්තිය ස්ත්‍රියෙකුට ආසාවීම 1 සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දිටීය. 2 ඔහු අවුත් තමාගේ පියාටත් මවුටත් කථාකොට: පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දුටිමි. ඈ මට භාර්යාකොට ලබාදෙන්නැයි කීවේය. 3 එවිට ඔහුගේ මව්පියෝ කථාකොට: නුඹ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් භාර්යාවකු ගන්ට යන්නේ නුඹේ සහෝදරයන්ගේ දූවරුන් අතරේවත් මාගේ මුළු සෙනඟ අතරේවත් ස්ත්‍රියක් නැති නිසාදැයි ඔහුට කීවෝය. නුමුත් සම්සොන්: ඒ තැනැත්තිය මට ලබාදෙන්න, මක්නිසාද මම ඈට කැමතියයි තමාගේ පියාට කීවේය. 4 ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය. 5 පසුව සම්සොන්ද ඔහුගේ මව්පියෝද තිම්නාට යන්ට ගියෝය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල බලව, තරුණ සිංහයෙක් ඔහුට ගෙරෙවුවේය. 6 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළුපැටවෙකු ඉරාදමන්නාක්මෙන් ඌ ඉරාදැමීය. නුමුත් ඔහු කළ දේ තමාගේ පියාටවත් මවුටවත් දැන්නුවේ නැත. 7 ඔහු ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කථාකෙළේය; ඈ ඔහුට බොහෝ ප්‍රසන්න වූවාය. සම්සොන්ගේ ප්‍රහේලිකාව සහ එහි ඵල 8 ස්වල්ප දවසකට පසු ඔහු ඈ පාවාගන්ට නැවත යද්දී සිංහයාගේ මළකුණ බලන්ට අහකට හැරී ගියේය. බලව, සිංහයාගේ ශරීරයෙහි මීමැසි රැළක්ද මීපැණිද තිබුණේය. 9 ඔහු එය ගෙන අතේ තබාගෙන කකා ගොස් තමාගේ මව්පියන් ළඟට අවුත් ඔවුන්ටත් දුන්නේය, ඔව්හුද කෑවෝය. නුමුත් ඒ මීපැණි සිංහයාගේ ශරීරයෙන් ගත් බව ඔහු ඔවුන්ට දැන්නුවේ නැත. 10 ඔහුගේ පියා ඒ ස්ත්‍රීය සිටි තැනට ආවේය. සම්සොන් එහිදී මංගල්‍යයක් පිළියෙළකෙළේය; මක්නිසාද යෞවනයන් විසින් එසේ කිරීම සිරිතක් විය. 11 තවද ඔව්හු ඔහු දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝය. 12 සම්සොන් වනාහි: මම දැන් නුඹලාට තේරවිල්ලක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළතදී ඒක විසඳා මට කීවොත් මම නුඹලාට සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද දෙන්නෙමි. 13 ඒක මට විසඳා කියන්ට නුඹලාට බැරිවුණොත් නුඹලා සිහින් සළු තිහක්ද ඇඳුම් කුට්ටම් තිහක්ද මට දෙන්ට ඕනෑයයි කීවේය. ඔව්හු අපට අසන්ට නුඹේ තේරවිල්ල කියන්නැයි ඔහුට කීවෝය. 14 ඔහුද: බුදින්නා කෙරෙන් භෝජන නික්මුණේය. බලවතා කෙරෙන් මිහිර නික්මුණේයයි ඔවුන්ට කීවේය. ඒ තේරවිල්ල තුන් දවසකින් විසඳා කියන්ට ඔවුන්ට නුපුළුවන්විය. 15 තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට නුඹේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි නුඹත් නුඹේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. නුඹලා අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය. 16 සම්සොන්ගේ භාර්යාව ඔහු ඉදිරියේ අඬා: නුඹ මට වෛරවෙනවාම මිස ආදරේ නැත. මාගේ සෙනඟගේ පුත්‍රයන්ට නුඹ තේරවිල්ලක් කී නුමුත් මට ඒක තෝරාදුන්නේ නැතැයි කීවාය. ඔහුද: බලව, මම මාගේ පියාටවත් මවුටවත් ඒක නොකීයෙමි, නුඹට කෙලෙස කියම්දැයි ඈට කීවේය. 17 ඔවුන්ගේ මංගල්‍යය පැවතුණ සත් දවස තිස්සේම ඈ ඔහු ඉදිරියෙහි ඇඬුවාය. ඈ ඔහුට කරච්චල්කළ බැවින් ඔහු සත්වෙනි දවසේදී ඒක ඈට කීය. ඈද ඇගේ සෙනඟගේ පුත්‍රයන්ට තේරුම කීවාය. 18 සත්වෙනි දවසේදී ඉරබසින්ට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: මීපැණිවලට වඩා මිහිරි කුමක්ද? සිංහයෙකුට වඩා බලවතා මොකෙක්දැයි ඔහුට කීවෝය. ඔහුද: නුඹලා මාගේ නෑම්බීගෙන් නොසෑහුනම් මාගේ තේරවිල්ල දැනගන්ට නොයෙදේයයි ඔවුන්ට කීවේය. 19 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය. 20 සම්සොන්ගේ භාර්යාවද ඔහු යහළුවා කොට ගත් ඔහුගේ සමාගම්කාරයාට දෙන ලද්දීය. |
Ceylon Bible Society
Ceylon Bible Society