Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව 3 - Sinhala Revised Old Version


ශාන්ති පූජා

1 ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.

2 ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.

3 ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,

4 වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොට ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා.

5 ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.

6 ස්වාමීන්වහන්සේට ශාන්ති පූජාවක් පිණිස ඔහුගේ පූජාව එළු රැළෙන් හෝ බැටළු රැළෙන් නම් ඔහු කැලල් නැති පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පූජාකළ යුතුය.

7 තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.

8 ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.

9 ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,

10 වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා.

11 පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.

12 ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඌ පූජා කළ යුතුය.

13 ඔහු තමාගේ අත උගේ හිස පිට තබා සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයෝද උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.

14 ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,

15 වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.

16 පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.

17 නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්