Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව 17 - Sinhala Revised Old Version


මණ්ඩපයට පමණක් පූජා රැගෙන ආ යුතු බව

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න– ස්වාමීන්වහන්සේ අණකළ දේ නම් මේය:

3 ඉශ්‍රායෙල් වංශයේ කොයි මනුෂ්‍යයෙක් නුමුත් ගවයෙක්වත් බැටළුපැටවෙක්වත් එළුවෙක්වත් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට පූජාවක්කොට ඔප්පුකරන්ට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනැවිත්,

4 කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.

5 මෙසේ අණකරන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල් ස්වාමීන්වහන්සේ වෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොට ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිසය.

6 පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.

7 ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.

8 තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්,

9 ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


ලෙය නොකෑ යුතු බව

10 ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන් හෝ කවරෙක් නුමුත් කොයියාකාර ලෙයක්වත් කෑවොත් මම එසේ ලේ කන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකරමින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමන්නෙමි.

11 මක්නිසාද මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. මක්නිසාද සමගිකමක් සිදුකරන්නේ ලේය, එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.

12 එබැවින්: නුඹලාගෙන් කිසිවෙක් ලේ නොකෑයුතුය, නුඹලා අතරෙහි වසන විදේශියාද ලේ නොකෑ යුතුයයි මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි.

13 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය.

14 මක්නිසාද සියලුම මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය, එය පණ හා සමානය. එබැවින් කිසි මාංසයක ලේ නොකෑයුතුයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි. මක්නිසාද සියලු මාංසවල පණ තිබෙන්නේ ඒවායේ ලෙයෙහිය; එය කන කවරෙක් නුමුත් සිඳදමනු ලබන්නේය.

15 ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.

16 එහෙත් ඔහු ඒවා සෝදාගන්නේවත් තමාම වතුර නාගන්නේවත් නැත්නම් ඔහු තමාගේ අයුතුකම දරනවා ඇතැයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්