ලෙවී කථාව 16 - Sinhala Revised Old Versionසමගිකම්කිරීමේ දවස 1 ස්වාමීන්වහන්සේ ඉදිරියට ළඟාවී සිටිද්දී මැරුණු, ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනාගේ මරණයෙන් පසු, 2 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි. 3 ආරොන් ශුද්ධස්ථානයට ඇතුල්විය යුතු මෙසේය: පාප පූජාවකට ගොන් නාම්බෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද රැගෙන ඔප්පුකිරීමෙන්ය. 4 ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය. 5 ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය. 6 එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය. 7 ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය. 8 එවිට ආරොන් එළුවන් ගැන පසඇට දැමිය යුතුය: ස්වාමීන්වහන්සේට එක පස ඇටයක්ය, අශාශෙල්ට එක පස ඇටයක්ය. 9 පසඇට දැමීමෙන් ස්වාමීන්වහන්සේට වූ එළුවා ගෙනැවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පුකරන්නේය. 10 එහෙත් පසඇට දැමීමෙන් අශාශෙල්ට වූ එළුවා අශාශෙල් උදෙසා වනාන්තරයෙහි නිදහසට ඇරීමට උගෙන් සමගිකමක් කරන පිණිස ඌ පණපිටින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා. 11 ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය. 12 එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්, 13 ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය. 14 තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය. 15 එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය. 16 එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය. 17 ඔහු ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමගිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය. 18 ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමගිකමක් කරමින් ගොනාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මඳ මඳ රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය. 19 ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා. 20 ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමගිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා. 21 ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය. 22 එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය. 23 එවිට ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව තමා ශුද්ධස්ථානයට ඇතුල්වෙන විට හැඳගන සිටි හණ වස්ත්‍ර ගළවා එහි තබා, 24 ශුද්ධ ඉඩමකදී වතුර නාවාගන, තමාගේ වස්ත්‍ර හැඳගන පිටතට අවුත්, තමාගේ දවන පූජාවද සෙනඟගේ දවන පූජාවද ඔප්පුකර, තමා උදෙසාද සෙනඟ උදෙසාද සමගිකමක් කරන්නේය. 25 පාප පූජාවේ තෙල පූජාසනය පිට දැවිය යුතුය. 26 අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය. 27 තවද ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන පිණිස ලේ ගන්ට යෙදුණු පාප පූජාවේ ගොනාද පාප පූජාවේ එළුවාද කඳවුරෙන් පිටතට ගෙන ගොස් උන්ගේ හම්ද මාංසද ගොමද ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය. 28 ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය. 29 එය නුඹලාට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී නුඹලාගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් නුඹලා අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය. 30 මක්නිසාද නුඹලාගේ සියලු පාපවලින් නුඹලා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස නුඹලා පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ නුඹලා උදෙසා සමගිකමක් කරනු ලබන්නේය. 31 ඒක නුඹලාට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය. 32 ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන, 33 අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය. 34 ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ සියලු පව් ගැන අවුරුද්දකට වරක් සමගිකමක් කරන පිණිස මේක නුඹලාට නිරන්තර පනතක් වන්නේයයි කීසේක. ඔහු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස කෙළේය. |
Ceylon Bible Society
Ceylon Bible Society