Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ලෙවී කථාව 12 - Sinhala Revised Old Version


මව්වරුන්ගේ පිරිසිදුවීම

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.

3 අටවෙනි දවසේදී ඔහුගේ චර්මාග්‍රමාංසය ජේදනය කරනු ලැබිය යුතුය.

4 තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය.

5 එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්ව සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය; ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ හැටහදවසක් සිටිය යුතුය.

6 පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය.

7 ඔහු ඌ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඈ වෙනුවට සමගිකමක් කරන්නේය; මෙසේ ඈ ලේ ධාරාව කෙරෙන් පවිත්‍රවන්නීය. පිරිමි දරුවෙකු හෝ ගැහැනු දරුවෙකු හෝ වදන තැනැත්තිය ගැන ව්‍යවස්ථාව ඒකය.

8 බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්