Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 2 - Sinhala Revised Old Version


රාහාබ් සහ ඔත්තුකාරයෝ

1 නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.

2 එවිට දේශය සොයා බලන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිස්සු අද රෑ මෙහි ආවෝයයි යෙරිකෝවේ රජුට කියනලද්දේය.

3 යෙරිකෝවේ රජ රාහාබ් වෙත පණිවිඩයක් යවා: නුඹ වෙතට ඇවිත් නුඹේ ගෙට ඇතුල්වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මක්නිසාද ඔව්හු මුළු දේශය සොයාබලන්ට ආවෝයයි රාහාබ්ට කියා ඇරියේය.

4 ඒ ස්ත්‍රී ඒ මිනිසුන් දෙදෙනා අඬගහගන ගොස් සැඟෙවුවාය; තවද ඈ කථාකොට: එසේය, ඒ මනුෂ්‍යයෝ මා වෙතට ආවෝය, නුමුත් ඔවුන් කොතැනින් ආවාද කියා නොදැන සිටියෙමි.

5 තවද කළුවර වී දොර වසන වේලාව පමණේදී ඒ මනුෂ්‍යයෝ පිටතට ගියෝය. කොතැනට ගියෝදැයි නොදනිමි. ඉක්මනින් ඔවුන් පස්සේ එළවාගන යන්න; නුඹලා ඔවුන් කරා පැමිණෙනවා ඇතැයි කීවාය.

6 නුමුත් ඈ ඔවුන් ගෙයි පියස්ස උඩට ගෙනගොස්, එහි අහුරා තිබුණු හණ දඬු යට ඔවුන් සැඟෙවුවාය.

7 ඒ මනුෂ්‍යයෝ යොර්දානට යන මාර්ගයෙන් තොටුපළවල් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගියෝය. ඔවුන් පස්සේ එළවාගන ගිය අය පිටතට ගිය හැටියේම දොර වසනලද්දේය.

8 ඔවුන් නිදාගන්ට පළමුවෙන් ඈ පියස්ස උඩ ඔවුන් වෙතට ඇවිත්,

9 ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.

10 මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව.

11 ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.

12 ඉතින් මා නුඹලාට කරුණාකළ බැවින් නුඹලාත් මාගේ පියාගේ පවුලට කරුණාකරමින් මාගේ පියාද මවුද සහෝදරයන්ද සහෝදරියන්ද ඔවුන්ට ඇති සියල්ලන්ද ආරක්ෂාකොට

13 අපේ ප්‍රාණ මරණයෙන් ගළවන හැටියට ස්වාමීන්වහන්සේ ගැන මට දිවුරා සත්‍යවූ ලකුණක් මට දුනමැනවියි ඒ මනුෂ්‍යයන්ට කීවාය.

14 ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.

15 එවිට ඈ ලනුවකින් ඔවුන් කවුළුවෙන් බැස්සෙවුවාය. මක්නිසාද ඇගේ ගෙය නුවර පවුර පිට තිබුණේය, ඈද පවුර පිට වාසයකළාය.

16 ඈ ඔවුන්ට කථාකොට: එළවාගන ගිය අයට නුඹලා අසු නොවන පිණිස කඳුකරයට යන්න; ඔවුන් හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු නුඹලාගේ ගමන යන්නැයි ඔවුන්ට කීවාය.

17 ඒ මනුෂ්‍යයෝ: නුඹ අප දිවුරවාගත් මේ දිවුරුම ගැන අපි නිදොස්වන්නෙමුව.

18 අප දේශයට ආ කල මේ රතු නූල් පටිය නුඹ අප බැස්සෙවු කවුළුවෙහි බැඳ තබා නුඹේ පියාද මවුද සහෝදරයන්ද නුඹේ පියාගේ ගෙයි වැසි සියල්ලන්ද නුඹ වෙතට ගෙයි එකතුකරගන්න.

19 එවිට කවරෙක්වත් නුඹේ ගෙයි දොරටුවලින් පිටවී වීථියට ගියොත් ඔහුගේ ලේ තමාගේම හිස පිටවන්නේය, අපි නිදොස්ය. නුඹ සමඟ ගෙයි සිටින යමෙකු පිට අතක් හෙළුවොත් ඔහුගේ ලේ අපේ හිස පිට වන්නේය.

20 නුමුත් නුඹ අපේ මේ කාරණය එළිදරව්කළොත් නුඹ අප දිවුරවාගත් දිවුරුම ගැන අපි නිදහස්වන්නෙමුයයි කීවෝය.

21 ඈ: නුඹලාගේ වචනවල හැටියට වේවයි කියා ඔවුන් පිටත්කළාය, ඔව්හු ගියෝය. ඈ රතු ලනුව කවුළුවේ බැන්දාය.

22 ඔව්හු ගොස් කඳුකරයට පැමිණ එළවාගන ගිය අය හැරී යනතුරු තුන් දවසක් එහි නැවතුණෝය. එළවාගන ගිය අය මාර්ගයේ සෑම තැනම ඔවුන් සෙවූ නුමුත් සම්බවුණේ නැත.

23 එවිට ඒ මනුෂ්‍යයෝ දෙදෙනා හැරී කඳුකරයෙන් බැස, එතරවී, නූන්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතට අවුත් තමුන්ට සිද්ධවුණු සියල්ල ඔහුට කීවෝය.

24 ඔව්හුද: සැබවින් ස්වාමීන්වහන්සේ මුළු දේශය අපේ අත්වලට දී තිබේ; දේශයේ සියලු වැසියන්ගේ සිත් අප ඉදිරියෙහි දියවීයතියි යෝෂුවාට කීවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්