Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 1 - Sinhala Revised Old Version


යෝෂුවා පත් කරනු ලැබීම

1 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට කථාකොට කියනසේක්:

2 මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.

3 නුඹලා අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස නුඹලාට දුනිමි.

4 කාන්තාරය හා මේ ලෙබනොන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තීවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහමුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය.

5 නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.

6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.

7 මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.

8 මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.

9 මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.

10 එවිට යෝෂුවා සෙනඟගේ මුලාදෑනීන්ට අණකරමින් කියනුයේ:

11 නුඹලා කඳවුර මුළුල්ලෙහි ගොස් සෙනඟට කථාකර–හිමිකරගැනීමට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශය හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹලා තව තුන් දවසකින් මේ යොර්දානෙන් එතරට යන නිසා කෑම සූදානම්කරගන්නය කියා අණකරන්නැයි කීවේය.

12 යෝෂුවා රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද කථාකොට:

13 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකර කී දෙය සිහිකරන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට විශ්‍රාම දී මේ දේශය නුඹලාට දෙනසේක.

14 නුඹලාගේ භාර්යාවෝද බාලයෝද සිව්පාවෝද මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නුඹලාට දී තිබෙන දේශයෙහි සිටිත්වා; නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලාට මෙන් නුඹලාගේ සහෝදරයන්ට විශ්‍රාම දෙනතෙක්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ට දෙන දේශය ඔවුන් විසිනුත් හිමිකර ගන්නා තෙක්ද,

15 නුඹලාගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව නුඹලාගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි නුඹලාට දුන් නුඹලාගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.

16 ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: නුඹ අපට අණකළ සියල්ල කරන්නෙමුව, නුඹ අප යවන කොතැනට නුමුත් යන්නෙමුව.

17 අප විසින් සියලු කාරණාවලදී මෝසෙස්ට කීකරුවුණාක් මෙන් නුඹටත් කීකරුවන්නෙමුව. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ සිටි ලෙසම නුඹ සමඟත් සිටිනසේක්වා.

18 නුඹ අපට අණකරන සියල්ල ගැන නුඹේ වචන නාසා නුඹේ අණට විරුද්ධව කැරළිගසන කවරෙක් වුවත් මරණයට පත්කරනු ලබන්නේය. නුඹ වනාහි ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්නැයි කීවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්