යෙසායා 62 - Sinhala Revised Old Versionමුදනු ලැබූ සෙනඟගේ සමෘද්ධිය සහ ප්‍රීතිය 1 මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි. 2 ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත. 3 නුඹ ස්වාමීන්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය. 4 නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ. 5 මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක. 6 එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි, 7 උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. 8 ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය. 9 නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක. 10 දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න. 11 බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න. 12 ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය. |
Ceylon Bible Society
Ceylon Bible Society