Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 56 - Sinhala Revised Old Version


විදේශීන්ට හා නපුංසකයන්ට ධෛර්ය දීම

1 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.

2 මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.

3 ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.

4 මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.

5 එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.

6 ස්වාමීන්වහන්සේට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,

7 මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.

8 පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.


සැලකිලි නැති ආණ්ඩුකාරයන්ටත් රූප ඇදහිලිකාර සෙනඟටත් තද තර්ජනය

9 වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.

10 ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.

11 එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.

12 ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්