Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 31 - Sinhala Revised Old Version

1 ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;

2 උන්වහන්සේ තමන්ගේ වචන අවලංගු නොකර, විපත පමුණුවා නපුර කරන්නන්ගේ වංශයටත් අයුතුකම් කරන්නන්ගේ උපකාරයටත් විරුද්ධව නැගිටිනසේක.

3 මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.

4 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: සිංහයා වුවත් තරුණ සිංහයා වුවත් ඌට විරුද්ධව එඬේරුන් රාශියක් අඬගසනු ලැබූ කල උගේ ගොදුර කෙරෙහි ගොරවා, ඔවුන්ගේ හඬට නොකැලඹී, ඔවුන්ගේ ඝෝෂාවට යටත් නොවී සිටින්නාක්මෙන්ම, සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දද එහි හෙලද පිට සටන්කරන්ට බසිනසේක.

5 පැටවුන් මත්තෙහි කරන කුරුල්ලන්ගේ පියාසරය මෙන් සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලම ආවරණකරනසේක; ඒක ආරක්ෂාකොට ගළවනසේක, එය මතුපිට හැසිරෙමින් ප්‍රවේසම්කරනසේක.

6 එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.

7 මක්නිසාද පාපයක් වන ලෙස නුඹලාගේ අත්වලින් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.

8 එකල අෂූරියයා මනුෂ්‍යයාගේ නොවන කඩුවකින් වැටෙන්නේය; මනුෂ්‍යයන්ගේ නොවන කඩුවකින් ඔහු විනාශවන්නේය. ඔහු කඩුව ඉදිරියෙන් පලායන්නේය, ඔහුගේ තරුණයෝ රාජකාරියට යටත්වන්නෝය.

9 ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්