Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෙසායා 15 - Sinhala Revised Old Version


මෝවබ් කෙරෙහි විනිශ්චය

1 මෝවබ් ගැන දිව්‍ය ප්‍රකාශනයය. රාත්‍රියකදී මෝවබ්හි ආර් නගරය පාළුකොට නැතිකරනලද්දේය; රාත්‍රියකදී මෝවබ්හි කීර් බලකොටුව පාළුකොට නැතිකරනලද්දේය.

2 අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.

3 තමුන්ගේ වීථිවල ඔව්හු ගෝණිරෙදි හැඳ ඉඳිති. ඔවුන් සෑමදෙනම තමුන්ගේ පියසි උඩද එළිමහන් ඉඩම්වලද බොහෝකොට අඬා කෑමොරගසති.

4 හෙෂ්බොන්ද එලෙයාලේද කෑගසති; ඔවුන්ගේ හඬ යාහශ් දක්වා ඇසෙයි. ඒ නිසා මෝවබ්හි යුද්ධකාරයෝ ඝෝෂාකරති; එක් එක්කෙනාගේ ආත්මය ඔහු තුළ කැළඹෙයි.

5 මාගේ සිත මෝවබ් නිසා කෑගසයි; ඇගේ උත්තමයෝ ශෝවාර්ටත් එග්ලත්-ෂෙලිෂියටත් පලා යති. මක්නිසාද ඔව්හු අඬ අඬා ලූහිත්හි ගොඩැල්ලෙන් නැගී යති; එසේය, හොරොනායිම් මාර්ගයේදී ඔව්හු විනාශයේ ඝෝෂාවක් පවත්වති.

6 තවද නිම්රිම්හි ජලවල් සිඳී පාළුවන්නේය. එසේය, තෘණ මැළවී අමු තෘණ නැතිවී තිබේ, අමුවූ කිසිවක්ද නොතිබේ.

7 එබැවින් ඔව්හු සපයාගත් සම්පත්ද රැස්කර තබාගත් දේද නළාගස් ඔය ළඟට ගෙනයන්නෝය.

8 මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.

9 දීමොන්හි ජලවල් ලෙයින් පිරී තිබේ. මක්නිසාද දීමොන් පිටට තව විපත්ති පමුණුවන්නෙමි, ගැළවෙන මෝවබ්වරුන් පිටත් දේශයේ ඉතිරි අය පිටත් සිංහයෙකු පමුණුවන්නෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්