යෙසායා 12 - Sinhala Revised Old Versionගැළවුම්කාරවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකිරීම 1 ඒ දවසෙහි නුඹ කථාකොට: ස්වාමීන්වහන්ස, ඔබට ස්තුති කරමි; මක්නිසාද ඔබ මා කෙරෙහි උදහස්ව සිටිය නුමුත් ඔබගේ උදහස පහවගියේය, ඔබ මා සනසනසේක. 2 බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය. 3 එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය. 4 ඒ දවසෙහි නුඹලා කථාකොට: ස්වාමීන්වහන්සේට ස්තුතිකරන්න, උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරන්න, උන්වහන්සේගේ ක්‍රියා ජනයන් අතරේ දන්වා, උන්වහන්සේගේ නාමය උසස් බව සඳහන්කරන්න. 5 ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය. 6 එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society