නෙහෙමියා 13 - Sinhala Revised Old Versionවැරදි දේ හරිගැස්සීම 1 ඒ දවසේ සෙනඟ ඉදිරියෙහි මෝසෙස්ගේ පොත කියවද්දී: අම්මොන්වරුන්ද මෝවබ්වරුන්ද රොටි සහ වතුර රැගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පෙරමගට නෑවිත් ඔවුන්ට ශාපකරන පිණිස බාලාම් කුලියට ගත් නිසා, 2 අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් දෙවියන්වහන්සේගේ සභාවට කිසිකලක ඇතුල් නොවන්නේය කියා ලියා තිබෙනවා සම්බවිය. ඒ ශාපය අපේ දෙවියන්වහන්සේ ආශීර්වාදයකට හැරෙවූසේක. 3 තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය. 4 මීට පළමුවෙන් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවල් කෙරෙහි පත්ව සිටියාවූ, ටෝබියාට නෑකම් ඇත්තාවූ, 5 පූජකවූ එලියාෂීබ් ආහාර පූජාද තුවරලාද භාණ්ඩද, ලෙවීවරුන්ගෙත් ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් නියම කොටසවූ ධාන්‍යයෙන් සහ මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටසද, පූජකයන්ට ලැබෙන එසවීම් පූජාද, පළමු තැබූ ස්ථානයෙහි, ටෝබියාට මහත් ඇතුල් ගෙයක් දසාදාදී තිබුණේය. 6 ඒ සියල්ලේදී මම යෙරුසලමෙහි නොසිටියෙමි. මක්නිසාද බබිලෝනියේ රජවූ අර්තක්ෂස්තාගේ තිස්දෙවෙනි අවුරුද්දේදී මම රජු ළඟට ගියෙමි, තවද දවස් ගණනකට පසු රජුගෙන් අවසර ඉල්ලාගෙන, 7 යෙරුසලමට ආවෙමි. එවිට එලියාෂීබ් දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවල ටෝබියාට ඇතුල් ගෙයක් සූදානම්කර දීමෙන් ඔහු උදෙසා කළ නපුර දැනගත්තෙමි. 8 ඊට මම ඉතා අප්‍රසන්නවී ටෝබියාගේ ගෙයි බඩු සියල්ල ඇතුල් ගෙයින් පිටතට දැමුවෙමි. 9 එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි. 10 ලෙවීවරුන්ගේ කොටස් ඔවුන්ට නුදුන් බවද වැඩපළ කරන ලෙවීවරුන්ද ගීතිකාකාරයන්ද තම තමුන්ගේ කෙත්වලට පලාගිය බවද දැක, 11 මම මුලාදෑනීන්ට කථාකර: දෙවියන්වහන්සේගේ ගෘහය අත්හරිනු ලැබුවේ මක්නිසාද කියා තරවටුකෙළෙමි. තවද මම ඔවුන් රැස්කරවා, ඔවුන්ගේ ස්ථානවලට ඔවුන් පත්කෙළෙමි. 12 එවිට සියලු යූදාවරු ධාන්‍යයෙනුත් මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝය. 13 ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය. 14 මාගේ දෙවියන්වහන්ස, මේ ගැන මා සිහිකළ මැනව, මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව. සබත් දවස පැවැත්වීම ගැන 15 ඒ දවස්වලදී යූදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනැවිත් ඒවා සහ මුද්‍රිකපානයද මුද්‍රික වලුද අත්තික්කා ඵලද සියලු ආකාර බරද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේදී යෙරුසලමට ගෙනෙන බවත් මම දැක, ඔවුන් ආහාර විකුණන දවසේදී ඔවුන්ට තරවටුකෙළෙමි. 16 තීර්වරුත් එහි වාසයකොට මාලු සහ සියලු ආකාර බඩු ගෙනැවිත් යූදා පුත්‍රයන්ටත් යෙරුසලමෙහිත් සබත් දවසේදී වික්කෝය. 17 එබැවින් මම යූදාහි උත්තමයන්ට තරවටුකරමින්: සබත් දවස දූෂ්‍යකොට නුඹලා කරන මේ නපුරු ක්‍රියාව මොකද? 18 නුඹලාගේ පියවරුන් මෙසේ කළ බැවින් අපේ දෙවියන්වහන්සේ මේ සියලු විපත්ති අප පිටටත් මේ නුවර පිටටත් පැමිණෙවුවා නොවේද? එසේ වී නුමුත් නුඹලා සබත් දවස දූෂ්‍යකිරීමෙන් ඉශ්‍රායෙල් කෙරෙහි උදහස වැඩිකරන්නහුයයි ඔවුන්ට කීවෙමි. 19 තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි. 20 ඒ නිසා වෙළෙන්දෝද සියලු ආකාර බඩු විකුණන්නෝද වරක් දෙවරක් යෙරුසලමෙන් පිට නැවතුණේය. 21 මම ඔවුන්ට තරවටුකොට: නුඹලා පවුර ළඟ නවතින්නේ මක්නිසාද? නුඹලා නැවත එසේ කළොත් නුඹලා අල්ලාගන්නෙමියි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔව්හු සබත් දවසේදී නාවෝය. 22 තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව. අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීම ගැන 23 තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි. 24 ඔවුන්ගේ දරුවෝද අර්ධයක් වශයෙන් අෂ්දෝද් භාෂාවෙන් කථාකළෝය. යුදෙව් භාෂාවෙන්ම කථාකරන්නට ඔවුන් නොදැන ඒ සෙනඟගෙත් මේ සෙනඟගෙත් භාෂාවලින් කථාකළෝය. 25 මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා, 26 ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය. 27 එසේනම් අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගැනීමෙන් මේ මුළු මහත් නපුර කොට අපේ දෙවියන්වහන්සේට විරුද්ධව වරදකරන හැටියට නුඹලාට ඇහුම්කන්දෙන්නෙමුදැයි කීමි. 28 උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි. 29 මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකමෙත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව. 30 මෙසේ මම විදේශී සියල්ලන් පහකිරීමෙන් ඔවුන් පිරිසිදුකර, එක් එක්කෙනා තම තමාගේ වැඩේ ප්‍රකාරයට 31 පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව. |
Ceylon Bible Society
Ceylon Bible Society