Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 4 - Sinhala Revised Old Version

1 එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය.

2 එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.

3 උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය.

4 ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.)

5 ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.

6 තවද ස්වාමීන්වහන්සේ: නුඹේ අත නුඹේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය.

7 උන්වහන්සේ: නුඹේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.)

8 ඔව්හු නුඹ විශ්වාස නොකරන්නෝ නම්, පළමුවෙනි ලකුණේ හඬට කන්නොදෙන්නෝ නම්, ඔවුන් අනික් ලකුණේ හඬ විශ්වාස කරනවා ඇත.

9 තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර නුඹේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක.

10 මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.

11 එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?

12 එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක.

13 ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය.

14 එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: නුඹේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු නුඹ සම්බවන්ට එන්නේය. ඔහු නුඹ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය.

15 නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි.

16 ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.

17 නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.


මෝසෙස් මිසරයට හැරීයාම

18 මෝසෙස් තමාගේ මාමා වූ යෙත්‍රෝ වෙතට හැරීගොස්: මිසරයෙහි සිටින මාගේ සහෝදරයෝ තවම ජීවත්ව සිටින්නෝදැයි බලන පිණිස ඔවුන් වෙතට හැරීයන්ට මට අවසර දුනමැනවියි කීයේය. සමාදානයෙන් යන්නැයි යෙත්‍රෝ මෝසෙස්ට කීවේය.

19 ස්වාමීන්වහන්සේ: නුඹේ ප්‍රාණය නසන්ට සෙවූ සියල්ලෝ මළෝය. එබැවින් මිසරයට නැවත යවයි මිදියන්හිදී මෝසෙස්ට කීසේක.

20 එවිට මෝසෙස් තමාගේ භාර්යාවද පුත්‍රයන්ද රැගෙන කොටළුවෙකු පිට හිඳුවා මිසර දේශයට හැරී ගියේය. දෙවියන්වහන්සේගේ සැරයටියද අතින් රැගෙන ගියේය.

21 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.

22 නුඹ ඵාරාවෝට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–ඉශ්‍රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය.

23 මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.

24 මාර්ගයෙහි නවාතැනේදී ස්වාමීන්වහන්සේ ඔහුට සම්බව ඔහු මරන්ට සෑදූසේක.

25 එවිට ශිප්පොරා ගල්පිහියක් රැගෙන ඇගේ පුත්‍රයාගේ චර්මාග්‍රය කපා එයින් ඔහුගේ පාද ස්පර්ශකොට: සැබවින් නුඹ මට ලෙයේ මනමාළයෙකැයි කීවාය.

26 මෙසේ උන්වහන්සේ ඔහු කෙරෙන් අහක්ව ගියසේක. චර්මඡේද්‍යය නිසා නුඹ ලෙයේ මනමාළයෙක්යයි ඕතොම කීවාය.

27 මෝසෙස් සම්බවන පිණිස වනාන්තරයට යවයි ස්වාමීන්වහන්සේ ආරොන්ට කීසේක. ඔහු ගොස් දෙවියන්වහන්සේගේ කන්දේදී ඔහු සම්බව සිඹගත්තේය.

28 ස්වාමීන්වහන්සේ තමා අත කියා ඇරිය සියලු වචනද උන්වහන්සේ තමාට අණකළාවූ සියලු ලකුණුද මෝසෙස් ආරොන්ට දැන්නුවේය.

29 මෝසෙස්ද ආරොන්ද ගොස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කළෝය.

30 ආරොන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකළ සියලු වචන කියා සෙනඟ ඉදිරියෙහි ඒ ලකුණු දැක්විය.

31 සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්