Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 33 - Sinhala Revised Old Version


ගමන නැවත යාම

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.

2 මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.

3 ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක.

4 සෙනඟ ඒ නපුරු ප්‍රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය.

5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.

6 ඉශ්‍රායෙල් පුත්‍රයෝද හොරේබ් කන්දේ පටන් ඉන් ඉදිරියට තමුන්ගේ ආභරණ ගළවාගන ගියෝය.

7 මෝසෙස් කූඩාරම ගෙන කඳවුරෙන් පිටත කඳවුරට ඈතින් පිහිටුවන්ට පුරුදුව සිටියේය; ඔහු ඊට සම්මුඛවීමේ කූඩාරමයයි නම් තැබුවේය. තවද ස්වාමීන්වහන්සේ සොයන හැමදෙනාම කඳවුරෙන් පිට තිබුණු සම්මුඛවීමේ කූඩාරම ළඟට ගියෝය.

8 මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය.

9 මෝසෙස් කූඩාරමට ඇතුල්වූ කල්හි වලාටැඹ බැස කූඩාරමේ දොරකඩ ළඟ සිටියේය. ස්වාමීන්වහන්සේද මෝසෙස් සමඟ කථාකළසේක.

10 වලාටැඹ කූඩාරමේ දොරකඩ ළඟ සිටිනවා දුටු විට මුළු සෙනඟ නැගිට එක එක අය තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට නමස්කාර කළෝය.

11 මනුෂ්‍යයෙකු තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණ ලා කථාකරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස් සමඟ කථාකළසේක. ඔහු නැවත කඳවුරට හැරී ආයේය. නුමුත් නූන්ගේ පුත්‍රවූ තරුණයෙක් වන ඔහුගේ සේවකයාවූ යෝෂුවා කූඩාරමෙන් අහක්ව නොගියේය.


මෝසෙස්ගේ කන්නලව්කිරීම. ස්වාමීන්වහන්සේගේ උත්තර දීම

12 මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ–මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් නුඹ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි නුඹට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.

13 එබැවින් මට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්නුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනඟ බවත් සැලකුව මැනවයි කීවේය.

14 උන්වහන්සේද: මම්ම නුඹ සමඟ ගොස් නුඹට නිවාඩු දෙන්නෙමියි කීසේක.

15 ඔහු: ඔබවහන්සේම නොයනසේක් නම් මෙතැනින් අප ගෙන නොගිය මැනව.

16 මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක.

17 ස්වාමීන්වහන්සේද: නුඹ කී මේ දේත් කරන්නෙමි. මක්නිසාද නුඹට මා ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ, නාමයෙන්ද නුඹ අඳුනමියි මෝසෙස්ට කීසේක.

18 ඔහුද: අනේ ඔබගේ තේජස මට පෙන්නුව මැනවයි කීවේය.

19 උන්වහන්සේද: මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශකරන්නෙමි; මම කරුණාකරන්ට කැමති තැනැත්තාට කරුණාකරන්නෙමි, මම දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමියි කීසේක.

20 තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.

21 ස්වාමීන්වහන්සේද: බලව, මා ළඟ ස්ථානයක් තිබේ, නුඹ පර්වතය පිට සිටින්න.

22 එවිට මාගේ තේජස නුඹ පසුකර යනකල මම නුඹ පර්වතයේ විවරයෙක්හි තබා මා නුඹ පසුකර යනතුරු මාගේ අතින් නුඹ වසන්නෙමි.

23 මමද මාගේ අත අහකට ගන්නෙමි, එවිට නුඹ මාගේ පිටුපස දකින්නෙහිය. එහෙත් මාගේ මුහුණ දකිනු නොලබන්නේයයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්