Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 31 - Sinhala Revised Old Version


කර්මාන්තකාරයින් පත්කිරීම

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

2 බලව, මම යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා,

3 දක්ෂ කර්මාන්ත යෝජනාකර රනින්ද රිදීයෙන්ද පිත්තලෙන්ද වැඩ කිරීමටත්,

4 බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද

5 සියලු ආකාර කර්මාන්තවලට තේරුමද ලැබෙන ලෙස ඔහු දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙළෙමි.

6 තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.

7 සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද ඒක පිට තබන කරුණාසනයද කූඩාරමේ සියලු බඩුද,

8 මේසය සහ එහි භාජනද පවිත්‍ර පහන් රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,

9 දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,

10 විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,

11 ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.


සබත් දවස

12 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

13 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂාකළ යුතුය. මක්නිසාද නුඹලා විශුද්ධකරන්නාවූ ස්වාමීන්වහන්සේ මමයයි නුඹලා දැනගන්නා පිණිස ඒක නුඹලාගේ පරම්පරාවල නුඹලා සහ මා අතරෙහි ලකුණක්ය.

14 එබැවින් නුඹලා සබත් දවස රක්ෂාකරන්න; මක්නිසාද එය නුඹලාට ශුද්ධය. එය අශුද්ධකරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.

15 සදවසක් වැඩ කළ යුතුය; එහෙත් සත්වෙනි දවස ස්වාමීන්වහන්සේට ශුද්ධවූ ගරුමයවූ නිවාඩුව වන සබතක්ය. සබත් දවසේදී යම් වැඩක් කරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය.

16 එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස රක්ෂාකළ යුතුය.

17 එය සදාකාලයටම මා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ලකුණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් සදවසකින් සාදා සත්වෙනි දින නැවතී නිවාඩුගත්සේකැයි කියන්නැයි කීසේක.

18 උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්