Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 25 - Sinhala Revised Old Version


මණ්ඩපය පිළිබඳ ආඥා පඬුරු දීම

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:

2 මට පඬුරක් ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.

3 ඔවුන්ගෙන් නුඹලා විසින් ගත යුතු පඬුර නම්–රන්, රිදී, සහ පිත්තලද;

4 නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;

5 රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;

6 එළිය පිණිස තෙල්, ආලේප තෛල සහ සුවඳදුම් පූජාවට සුගන්ධ ද්‍රව්‍ය,

7 ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.

8 මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා.

9 මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.


ගිවිසුම් පෙට්ටිය

10 ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය.

11 නුඹ එය පවිත්‍ර රනින් වැසිය යුතුය, ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සෑදිය යුතුය.

12 නුඹ ඒකට රන් වළලු සතරක් වාත්තුකොට ඒකේ පාද සතරේ තැබිය යුතුය; එක පැත්තකට වළලු දෙකක්ද අනික් පැත්තට වළලු දෙකක්ද වියයුතුය.

13 ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් වසන්න.

14 පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.

15 පොලු පෙට්ටියේ වළලුවල වන්නේය. ඒවා එයින් අහක්කරනු නොලබන්නේය.

16 මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.

17 පවිත්‍ර රනින් කරුණාසනයක් සාදන්න; ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය යුතුය.

18 රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.

19 එක් කෙළවරක කෙරුබයෙක්ද අනික් කෙළවර කෙරුබයෙක්ද බැගින් සාදන්න. නුඹලා කරුණාසනය හා සම්බන්ධකොට දෙකෙළවර පිට කෙරුබ්වරුන් සෑදිය යුතුය.

20 කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.

21 කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් නුඹට දෙන සාක්ෂිය පෙට්ටියෙහි තබන්න.

22 මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.


පිදීමේ රොටී තබන මේසය

23 ෂිටිම් ලීවලින් මේසයක්ද සාදන්න. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක් රියනක්ද ඒකේ උස එක් රියන් හමාරක්ද විය යුතුය.

24 ඒක පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක් සාදන්න.

25 වටකරින් ඊට අල්ලක පළල ඇති පටියක්ද සාදා ඒ පටිය වටේ රන් ලීස්තරයක් සාදන්න.

26 ඊට රන් වළලු සතරක් සාදා එහි කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දමන්න.

27 මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.

28 මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න.

29 ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.

30 පිදීමේ රොටි මේසය පිට මා ඉදිරියෙහි නිතරම තබන්න.


රන් පහන් රුක

31 පවිත්‍ර රනින් පහන් රුකක් සාදන්න. අඩියද කඳද ඇතුළුව පහන් රුක තළා සාදනු ලැබිය යුතුය; ඒකේ කුසලාන්ද මොට්ටුද මල්ද එක වැඩක් විය යුතුය.

32 එහි පැතිවලින් නික්මෙන අතු සයක් විය යුතුය; පහන් රුකේ එක පැත්තක අතු තුනක්ද අනික් පැත්තේ අතු තුනක්ද විය යුතුය.

33 කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව එක අත්තකද කොට්ටම්බා මල් හා සමානව සාදනලද පෙති කුසලාන් තුනක් මොට්ටුවකුත් මලකුත් ඇතුව අනික් අත්තේද විය යුතුය. පහන්රුකෙන් නික්මෙන අතු සයේම එසේ විය යුතුය.

34 පහන්රුකේ කොට්ටම්බා මල් සමානව සාදනලද පෙති කුසලාන් සතරක් ඒවායේ මොට්ටු සහ මල්ද සහිතව ඇතිවිය යුතුය.

35 පහන්රුකෙන් නික්මෙන අතු සයට ඒකේ අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධවූ මොට්ටුවක්ද වන්නේය.

36 ඒවායේ මොට්ටු සහ අතු ඊට සම්බන්ධ වන්නේය. ඒ සියල්ල තළනලද පවිත්‍ර රනින් කළ වැඩක් විය යුතුය.

37 ඒකේ පහන් සතක් සාදන්න. ඔව්හු ඒක ඉදිරිපිටින් එළිය වැටෙන පිණිස ඒවා දල්වන්නෝය.

38 ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය.

39 එයද මේ සියලු භාජනද පවිත්‍රවූ රන් තලෙන්තයකින් සෑදිය යුතුය.

40 කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්