නික්මයාම 23 - Sinhala Revised Old Version1 බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න. 2 නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න. 3 දිළිඳෙකුටත් ඔහුගේ නඩුවේදී පක්ෂනොවන්න. 4 නුඹේ සතුරාගේ ගොනා හෝ ඔහුගේ කොටළුවා හෝ මුළාව යනවා සම්බවුණොත් නුඹ ඒකා ඔහු කරා නැවත ගෙනයා යුතුමය. 5 නුඹට වෛර කරන්නාගේ කොටළුවා බර සමඟ වැටී ඉන්නවා දුටුවොත් ඔහුට උපකාර කිරීමෙන් වැලකෙන්ට සිතුණත් ඌ මුදන්ට නුඹ ඔහුට උදව්විය යුතුමය. 6 නුඹේ දිළිඳු අයෙකුගේ නඩුවේදී ඔහුගේ විනිශ්චය නොපෙරළන්න. 7 බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි. 8 අල්ලස් නොගන්න. මක්නිසාද අල්ලස ඇස් පෙනීම ඇත්තන් අන්ධකරයි, ධර්මිෂ්ඨයාගේ වචන පෙරළයි. 9 විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය. 10 නුඹේ බිම් සාවුරුද්දක් වපුරා එහි අස්වැන්න රැස්කරගන්න. 11 එහෙත් සත්වෙනි අවුරුද්දේ නුඹේ සෙනඟගේ දිළිඳුන් එයින් කන පිණිස ඒක නොවපුරා නිකම් තිබෙන්ට හරින්න. ඔවුන් ඉතිරිකරන දෙය කෙතේ මෘගයෝ කත්වා. නුඹේ මිදිවත්ත සහ ඔලීවවත්ත ගැනත් එසේම කරන්න. 12 සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න. 13 මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා. 14 අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න. 15 මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. නුඹලා ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා. 16 නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න. 17 නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය. 18 මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය. 19 නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න. අන්තිම අවවාද 20 බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි. 21 උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රවේසම්වෙමින් උන්වහන්සේගේ හඬට කන්දෙන්න; උන්වහන්සේ කෝප නොකරන්න; මක්නිසාද උන්වහන්සේ නුඹලාගේ අපරාධවලට කමා නොවනසේක; මක්නිසාද මාගේ නාමය උන්වහන්සේ තුළ ඇත්තේය. 22 එහෙත් නුඹ සැබවින් උන්වහන්සේගේ හඬට ඇහුම්කන්දී මා කියන සියල්ල කළොත් මම නුඹේ සතුරන්ට සතුරෙක්ද නුඹේ විරුද්ධකාරයන්ට විරුද්ධකාරයෙක්ද වන්නෙමි. 23 මක්නිසාද මාගේ දූතයා නුඹට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට නුඹ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි. 24 නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න. 25 නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි. 26 නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි. 27 මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි. 28 නුඹ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස නුඹට පෙරටුව දෙබරුන් යවන්නෙමි. 29 මම එක අවුරුද්දකින් ඔවුන් නුඹ ඉදිරියෙන් පන්නා නොදමන්නෙමි; එසේකළොත් දේශය පාළුවී වන මෘගයන් නුඹට විරුද්ධව බෝවෙනවා ඇත. 30 නුඹලා වැඩිවී දේශය උරුමකරගන්න තෙක් ඔවුන් ටිකෙන් ටික නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි. 31 මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි. 32 ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් ගිවිසුමක් නොකරන්න. 33 මට විරුද්ධව පව්කරන්ට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේයයි කීසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society