නික්මයාම 20 - Sinhala Revised Old Versionආඥා දශය 1 දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්: 2 මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. 3 මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව. 4 කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. 5 ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, 6 මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය. 7 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක. 8 සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. 9 සදවසක් වැඩකරමින් නුඹේ සියලු වැඩ කර්මාන්ත කරගනුව. 10 එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්. 11 කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක. 12 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිස නුඹේ පියාටත් නුඹේ මවුටත් ගෞරවකරව. 13 මිනීනොමරව. 14 කාමමිථ්‍යාචාරය නොකරව. 15 සොරකම් නොකරව. 16 නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. 17 නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක. 18 මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට, 19 මෝසෙස්ට කථාකොට: ඔබ අප සමඟ කථාකළ මැනවි, අපි අසන්නෙමුව. දෙවියන්වහන්සේ අප සමඟ කථානොකරනසේක්වා, කථාකළොත් අප නසිනවා ඇතැයි කීවෝය. 20 මෝසෙස්ද: භය නොවන්න. නුඹලා සෝදිසිකරන පිණිසද නුඹලා උන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිට පව්නොකරන පිණිසද දෙවියන්වහන්සේ ආසේකැයි සෙනඟට කීය. 21 සෙනඟ එසේ දුරින් සිටියෝය, මෝසෙස්ද දෙවියන්වහන්සේ සිටි ඝනාන්ධකාරය ළඟට පැමුණුණේය. ගිවිසුමේ පොත ප්‍රසිද්ධ නමස්කාරය 22 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න: අහසේ සිට මා නුඹලා සමඟ කථාකළ බව නුඹලාම දුටුවහුය. 23 මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්. 24 පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි. 25 ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපූ ගල්වලින් ඒක ගොඩනොනගව. මක්නිසාද නුඹේ ආවුදය ඒ පිට එසෙවුවෙහිනම් ඒක අපවිත්‍ර කෙළෙහිය. 26 නුඹේ නග්නභාවය නොපෙනෙන පිණිස මාගේ පූජාසනයට පඩිවලින් නොනැගෙවයි කීසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society