Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

නික්මයාම 11 - Sinhala Revised Old Version


10 වෙනි පීඩාව (කුලුඳුලන් මැරීම) ගැන දැන්වීම

1 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ සහ මිසරය පිටට තව එක පීඩාවක් පමුණුවන්නෙමි; ඉන්පසු ඔහු නුඹලා මෙතැනින් යන්ට හරින්නේය. ඔහු නුඹලා හරින කල සැබවින් සහමුලින්ම නුඹලා මෙතැනින් නෙරපන්නේය.

2 දැන් සෙනඟ ඉදිරියෙහි කථාකරව, එක එක පුරුෂයා තම තමාගේ අසල්වාසියාගෙන්ද එක එක ස්ත්‍රී තම තමාගේ අසල්වාසී ස්ත්‍රියගෙන්ද රිදී බඩුත් රත්රන් බඩුත් ඉල්ලාගනිත්වයි කීසේක.

3 ස්වාමීන්වහන්සේ මිසරයන් ඉදිරියෙහි සෙනඟට කරුණාව ලැබෙන්ට සැලැස්සූසේක. එපමණක් නොව මෝසෙස් නම් මනුෂ්‍යයා මිසර දේශයෙහිද ඵාරාවෝගේ සේවකයන් ඉදිරියෙහිද සෙනඟ ඉදිරියෙහිද ඉතා උතුම් කොට සලකන ලද්දේය.

4 මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි.

5 එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය.

6 කිසි කලෙකත් නොතිබුණාවූද මතුත් නොවන්නාවූද ආකාර මහත් හැඬීමක් මුළු මිසර දේශයෙහි වන්නේය.

7 එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක.

8 ඔබගේ මේ සියලු සේවකයෝද මා වෙතට අවුත් මට වැඳ වැටී: නුඹත් නුඹ අනුව යන මුළු සෙනඟත් ගිය මැනවැයි කියන්නෝය. ඉන්පසු යන්නෙමියි කීවේය. මෙසේ කියා ඔහු තද කෝපයෙන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.

9 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශයෙහි මාගේ ආශ්චර්යයන් බොහෝවන පිණිස ඵාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙන්නේයයි කීසේක.

10 මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙහි මේ සියලු ආශ්චර්යයන් කළෝය. ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් තමාගේ දේශයෙන් යන්ට නොහැරියේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්