Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

දානියෙල් 12 - Sinhala Revised Old Version

1 ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.

2 පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.

3 නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.

4 නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.


දර්ශනයේ අන්තිම පණිවිඩය

5 එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි.

6 එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය.

7 එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.

8 මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි.

9 ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුදාකොට තිබේ.

10 බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ ඇත්තෝ තේරුම්ගනිති.

11 දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.

12 එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය.

13 නුඹ ගොස් අන්තිමය වන තුරු සිටින්න. නුඹ සැතපී දවස්වල අන්තිමයේදී නුඹේ කොටස [භුක්තිවිඳීමට] නැගිටින්නෙහියයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්