ද්විතීය නීතිය 8 - Sinhala Revised Old Versionකාන්තාර ගමනෙන් පාඩම් 1 නුඹලා ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න. 2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න. 3 උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක. 4 මේ සතළිස් අවුරුද්දේ නුඹේ වස්ත්‍ර නුඹ පිට පරණ නොවීය, නුඹේ පාද ඉදිමුණේ නැත. 5 මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දඬුවම්කරන බව නුඹේ සිතින් කල්පනාකරන්න. 6 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න. 7 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය; 8 එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය; 9 ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන. 10 නුඹ කා තෘප්තියට පැමිණ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. 11 මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න. 12 නුඹ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩ නගා එහි වාසය කරන කල්හිත්, 13 නුඹේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, නුඹේ රන් රිදීද වැඩිවී, නුඹට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්, 14 නුඹේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ, නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටහත්කර නුඹ සෝදිසිකරන පිණිස, 15 ගිනි සර්පයන් සහ ගෝනුස්සන් ඇත්තාවූ, වතුර නැති, නියංසායෙන් යුක්තවූ ඒ මහත් භයංකර කාන්තාරය මැදින් නුඹ ගෙනාවාවූ, ගිනිගල් පර්වතයෙන් නුඹට වතුර නික්මවා දී, 16 නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට: 17 මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න. 18 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය. 19 තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි. 20 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට නුඹලා නොකැමතිවූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් නුඹලාත් විනාශවෙනවා ඇත. |
Ceylon Bible Society
Ceylon Bible Society