Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 7 - Sinhala Revised Old Version


වෙන්වීමට අණකිරීම

1 නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,

2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.

3 ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න.

4 මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.

5 එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.

6 මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.

7 ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ඇලුම්වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ; මක්නිසාද නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප වූහුය.

8 නුමුත් ස්වාමීන්වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනැවිත්, වහල්කමේ ගෙදර වන මිසරයේ රජවූ ඵාරාවෝ අතින් නුඹලා මිදුවේ උන්වහන්සේ නුඹලාට ප්‍රේමකළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්ට කැමතිවූ නිසාත්ය.

9 එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමඟ පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවූ දෙවියන්වහන්සේ බවද,

10 උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවී ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක.

11 එබැවින් පවත්වන්ට මා විසින් අද නුඹට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. ‍


ජය ලැබෙන බවට පොරොන්දුව

12 තවද නුඹලා මේ විනිශ්චයන් අසා ඒවා පවත්වා ඉෂ්ටකරන බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දිවුළ ගිවිසුම හා කරුණාව නුඹ සමඟ පවත්වා,

13 නුඹට ප්‍රේමවී, නුඹට ආශීර්වාදකොට, නුඹ වැඩිකර, නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ දේශයෙහිදී නුඹේ ගර්භයෙහි ඵලයට සහ නුඹේ භූමියේ ඵලය වන නුඹේ ධාන්‍යවලටද මුද්‍රික රසයටද තෙල්වලටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාදකරනවා ඇත.

14 නුඹ සියලු මනුෂ්‍ය වර්ගයන්ට වඩා ආශීර්වාද ලබනවා ඇත. නුඹලා අතරෙහිද නුඹලාගේ සිව්පාවුන් අතරෙහිද පිරිමියෙක්වත් ගැහැනියෙක්වත් ගෑනු සතෙක්වත් වඳ නොවෙයි.

15 ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.

16 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.

17 මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.

18 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඵාරාවෝ සහ මුළු මිසරයට කළ දේද

19 නුඹේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. නුඹ භයවෙන්නාවූ සියලුම ජනයන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.

20 තවද ඉතුරුවී සැඟවෙන්නාවූ අය නුඹ ඉදිරියෙන් නැතිවී යනතුරු නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවනවා ඇත.

21 මහත්වූ භයානකවූ දෙවිකෙනෙක් ව සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බැවින් ඔවුන් නිසා තැති නොගන්න.

22 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. නුඹ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ නුඹට විරුද්ධව වැඩිවන්නෝය.

23 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත.

24 ඔවුන්ගේ රජවරුන්ද උන්වහන්සේ නුඹ අතට පාවා දෙනවා ඇත, නුඹ අහස යටින් ඔවුන්ගේ නාමය නැතිකර දමන්නෙහිය. නුඹ ඔවුන් විනාශකර දමන තුරු කිසි මනුෂ්‍යයෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.

25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

26 පිළිකුල් දෙයක් නුඹේ ගෙට ගෙනගොස් නුඹ ඊට සමානවී නාස්තියට කැපනොවන්න. නුඹ ඊට ද්වේෂකොට එය සහමුලින්ම පිළිකුල්කොට සිතන්න. මක්නිසාද එය නාස්තියට කැපය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්