Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 6 - Sinhala Revised Old Version


අවවාද සහ ආඥා

1 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,

2 නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.

3 එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.

4 එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.

5 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.

6 මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා.

7 ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.

8 ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැඳගන්න, ඒවා නුඹේ ඇස් අතරෙහි නළල් පටි පිණිස තිබේවා.

9 ඒවා නුඹේ ගෙයි උළුවහු පිටද නුඹේ දොරවල් පිටද ලියන්න.

10 නුඹට දෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළාවූ දේශයට නුඹ පැමිණෙවු කල්හිත්, නුඹ ගොඩ නොනැගුවාවූ විශාලවූ හොඳවූ නුවරවල්ද,

11 නුඹ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද නුඹ නොකැපුවාවූ කපා තිබෙන තටාකද නුඹ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද නුඹ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්,

12 මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.

13 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.

14 අන් දෙවිවරුන් වන නුඹලා වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න;

15 එසේ කළොත් නුඹලා මධ්‍යයෙහි වැඩ සිටින නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අන්‍ය භක්ති නොඉවසන්නාවූ දෙවිකෙනෙක් බැවින්, උන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ නුඹ පොළොව මතුපිටින් විනාශකරනවා ඇත.

16 මස්සාහිදී කළාක් මෙන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂානොකරන්න.

17 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න.

18 නුඹට ශුභ සිද්ධවන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දෙන්ට දිවුළ යහපත් දේශයට ඇතුල්ව එය හිමිකරගන්නා පිණිසද ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් එළවා දමන පිණිසද,

19 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරිව යහපත්ව පෙනෙන දේ කරන්න.

20 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී නුඹේ පුත්‍රයා නුඹෙන් අසන විට,

21 නුඹේ පුත්‍රයාට උත්තරදෙමින්: අපි මිසරයෙහි ඵාරාවෝගේ දාසයෝව සිටියෙමුව; ස්වාමීන්වහන්සේද බලවත් හස්තයකින් අප මිසරයෙන් පිටතට ගෙනාසේක;

22 මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට,

23 අපේ පියවරුන්ට දෙන්ට දිවුළ දේශයට අප පමුණුවා, ඒක අපට දෙන පිණිස එතැනින් පිටතට අප ගෙනාසේක.

24 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප විසින් භයවෙන පිණිසත් සෑම කල්ම අපට ශුභසිද්ධවෙන පිණිසත් අද දවසේ මෙන් අප ජීවමානව රක්ෂාකරන පිණිසත් මේ සියලු පනත් ඉෂ්ටකරන්ට ස්වාමීන්වහන්සේ අපට අණකළසේක.

25 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්