Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 5 - Sinhala Revised Old Version


ආඥා දශය දෙවනු විස්තරකිරීම

1 මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.

2 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.

3 ස්වාමීන්වහන්සේ මේ ගිවිසුම කළේ අපේ පියවරුන් සමඟ නොව අප සමඟය, එසේය, අද මෙහි ජීවත්ව සිටින සියල්ලන් වන අප සමඟය.

4 ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලා සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.

5 (ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.

6 මම මිසර දේශය වන වහල්කමේ ගෙදරින් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

7 මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.

8 කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව.

9 ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,

10 මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.

11 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.

12 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස සබත් දවස ශුද්ධකොට පවත්වන්ට බලාගනුව.

13 සදවසක් වැඩකරමින් නුඹේ සියලු වැඩකර්මාන්ත කරගනුව.

14 නමුත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹ මෙන් නුඹේ වැඩකාරයාත් නුඹේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස නුඹවත් නුඹේ පුතාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ ගවයාවත් නුඹේ කොටළුවාවත් නුඹේ කිසි සිව්පාවෙක්වත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.

15 නුඹත් මිසර දේශයෙහි වැඩකාරයෙක්ව සිටි බවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින්ද දිගුකළ බාහුවකින්ද නුඹ එතැනින් පිටතට ගෙනා බවත් සිහිකරන්න. එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සබත් දවස පවත්වන්ට නුඹට අණකළසේක.

16 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.

17 මිනී නොමරව.

18 කාමමිථ්‍යාචාරය නොකරව.

19 සොරකම් නොකරව.

20 නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.

21 නුඹේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; නුඹේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.

22 මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට නුඹලාගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.

23 කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ නුඹලාට ඇසුණු කල්හි නුඹලා එනම් නුඹලාගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද නුඹලාගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:

24 බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.

25 ඉතින් අපි මක්නිසා නස්නෙමුද? මේ මහත් ගින්න අප දවා දමනවා ඇත. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ අප විසින් තවත් ඇසුවොත් අප නසිනවා ඇත.

26 මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?

27 නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.

28 නුඹලා මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ නුඹලාගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ නුඹට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.

29 අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!

30 නුඹ ගොස්: නුඹලාගේ කූඩාරම්වලට හැරී යන්නැයි ඔවුන්ට කියන්න.

31 එහෙත් නුඹ වනාහි මෙහි මා වෙත සිටින්න, මමද හිමිකරගැනීම පිණිස මා ඔවුන්ට දෙන දේශයෙහි ඔවුන් පවත්වන පිණිස නුඹ ඔවුන්ට ඉගැන්විය යුතුවූ ආඥා පන්තියද පනත්ද විනිශ්චයන්ද නුඹට කියන්නෙමියි කීසේක.

32 එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.

33 නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්