Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

ද්විතීය නීතිය 30 - Sinhala Revised Old Version


මිදීමේ පොරොන්දු සහ ජීවනයට ආරාධනා

1 තවද මා විසින් නුඹ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ නුඹ පිටට පැමිණි කල්හි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් නුඹ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,

2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරී, අද මා විසින් නුඹට අණකරන සියල්ල ලෙස නුඹද නුඹේ පුත්‍රයෝද මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේගේ හඬට කීකරුවන්නෝ නම්,

3 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ වහල්කම පහකර, නුඹට අනුකම්පාකොට, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ විසිරෙවූ සියලු ජනයන් අතරෙන් නුඹ නැවත රැස්කරගන්නසේක.

4 නුඹෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා නුඹ රැස්කොට එතැනින් නුඹ ගෙනෙනසේක.

5 නුඹේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය නුඹ විසින් භුක්තිවිඳින පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ එහි පමුණුවා, උන්වහන්සේ නුඹට යහපතකොට, නුඹේ පියවරුන්ට වඩා නුඹ වැඩිකරනසේක.

6 නුඹ ජීවත් වෙන පිණිස නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සිතද නුඹේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.

7 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද මේ සියලු ශාප නුඹට පීඩා කළාවූ නුඹේ සතුරන් පිටද නුඹට වෛරවෙන්නන් පිටද තබනවා ඇත.

8 නුඹ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය.

9 එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලු වැඩවල ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.

10 මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.

11 අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.

12 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.

13 අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.

14 නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

15 මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි.

16 එසේය, නුඹ ජීවත්ව සිට වැඩිවෙන පිණිසද නුඹ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාද කරන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥාද පනත්ද විනිශ්චයන්ද පවත්වන්ට මම අද නුඹට අණකරමි.

17 නුමුත් නුඹ කීකරුනොවන හැටියට නුඹේ සිත හැරීගොස්, අන් දෙවිවරුන්ට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත්

18 නුඹ ඇදී ගියොත්, සැබවින් නුඹලා විනාශවෙන බව අද නුඹලාට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට නුඹ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට නුඹලාගේ දවස් වැඩිනොවන්නේය.

19 මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,

20 ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට නුඹ වාසයකරන පිණිස, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්