Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 27 - Sinhala Revised Old Version


ගල්කණුවල ව්‍යවස්ථාව ලිවීම

1 මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.

2 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට යොර්දානෙන් එතරව නුඹ යන දවසේ මහත් ගල් සිටුවාගන, ඒවායේ හුනු ගා,

3 නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණ හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක් ව තිබෙන දේශයට ඇතුල්වෙන පිණිස නුඹ එතරව ගිය කල්හි, මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඒවා පිට ලියන්න.

4 එබැවින් නුඹලා යොර්දානෙන් එතරව ගිය විට මා අද නුඹලාට අණකරන මේ ගල් ඒබාල් කන්දේ හිටවා හුනු ගාන්න.

5 එහිද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් එනම් ගල්වලින් පූජාසනයක් ගොඩනගන්න. ඊට යකඩ ආවුදයක් නොපොවන්න.

6 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පියවි ගල්වලින් ගොඩනගා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒක පිට දවන පූජාවන් පූජාකොට,

7 ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

8 ඒ ගල් පිට මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඉතා පැහැදිලි ලෙස කොටා ලියන්නැයි කීවෝය.


ඒබාල් සහ ගෙරිසීම් කඳු පිට සිට කළ ආශීර්වාද හා ශාප

9 මෝසෙස්ද ලෙවීවරුවූ පූජකයෝද සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: ඉශ්‍රායෙල්, නුඹ නිශ්ශබ්දව සිට අසන්න; නුඹ අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සෙනඟ වූයෙහිය.

10 එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කීකරුව මා විසින් අද නුඹට අණකරන උන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන්නැයි කීවෝය.

11 මෝසෙස් එම දවසේදී සෙනඟට අණ කරමින්:

12 නුඹලා යොර්දානෙන් එතරට පැමිණි කල්හි සෙනඟට ආශීර්වාදකරන පිණිස සිමියොන්ද ලෙවීද යූදාද ඉස්සාඛර්ද යෝසෙප්ද බෙන්යමින්ද යන මොව්හු ගෙරිසීම් කන්ද පිට සිටිත්වා.

13 ශාපකියන පිණිස රූබෙන්ද ගාද්ද ආෂෙර්ද සාබුලොන්ද දාන්ද නප්තලීද යන මොව්හු ඒබාල් කන්ද පිට සිටිත්වා.

14 ලෙවීවරුද උත්තරදෙමින් සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට ශබ්දනගා මෙසේ කියත්වා–

15 ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.

16 තමාගේ පියාට හෝ මවට හෝ අගෞරව කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

17 තමාගේ අසල්වාසියාගේ බිමේ ඉම පහකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

18 අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

19 විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

20 තමාගේ පියාගේ භාර්යාව සමඟ සයනයකරන්නාට ශාප වේවා; මක්නිසාද ඔහු තම පියාගේ යහන් වස්ත්‍රය ඉවත්කෙළේය. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

21 කිසියම් මෘගයෙකු සමඟ සයනය කරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

22 තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

23 තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

24 තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

25 නිදොස් කෙනෙකු මරන්ට අල්ලස් ගන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

26 මේ ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස ඒවා ස්ථිර නොකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්