Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 23 - Sinhala Revised Old Version


නානා ප්‍රකාර ආඥා

1 කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.

2 අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.

3 අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.

4 මක්නිසාද නුඹලා මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන නුඹලාගේ පෙරමගට නා නිසාත් නුඹට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් නුඹලාට විරුද්ධව කුලියට ගත් නිසාත්ය.

5 එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක.

6 නුඹේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.

7 ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.

8 තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.

9 නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න.

10 රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් නුඹලා අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට,

11 සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.

12 එළියට යන පිණිස නුඹට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා.

13 නුඹේ ආයුධ අතරේ හාරන හැන්දක් නුඹ ළඟ තිබිය යුතුය; නුඹ එළියට ගියාම ඒකෙන් හාරා නුඹ පහරන දේ පස්සට හැරී වසන්න.

14 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගළවා නුඹේ සතුරන් නුඹට පාවාදෙන පිණිස නුඹේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ නුඹ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක නුඹෙන් අහක්ව නොයන පිණිස නුඹේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.

15 තමාගේ ස්වාමියා කෙරෙන් ගැළවී නුඹ ළඟට එන වාලෙක් තමාගේ ස්වාමියාට භාරනොදෙන්න.

16 ඔහු තමාට හොඳව පෙනෙනලෙස නුඹේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි නුඹලා අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න.

17 ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.

18 වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

19 පොලීගන්න පිණිස නුඹේ සහෝදරයාට මුදල්වත් ආහාරවත් මිනිසුන් විසින් පොලියට දෙන කිසි දෙයක්වත් ණයට නොදෙන්න.

20 විදේශියෙකුට පොලියට දෙන්ට නුඹට පුළුවන; නුමුත් නුඹ හිමි කරගන්ට යන දේශයෙහි නුඹ අත තබන සියල්ලේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස නුඹේ සහෝදරයාට පොලියට නොදෙන්න.

21 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹෙන් අයකරනවාම ඇත; ඒක නුඹට පාපයක් වේ.

22 එහෙත් නුඹ බාරයක් නොවී සිටියොත් එයින් නුඹට පාපයක් නැත.

23 නුඹේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් ගිවිසුම් කළාවූ නුඹේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.

24 නුඹේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි නුඹ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල නුඹට කන්ට පුළුවන; නුමුත් නුඹේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.

25 නුඹේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි නුඹේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් නුඹේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්