ද්විතීය නීතිය 20 - Sinhala Revised Old Versionයුද්ධ නීති 1 නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ සටනට ගොස් අශ්වයන් හා රථද නුඹට වඩා ගණනින් වැඩිවූ සෙනඟක්ද දක්නා කල ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක. 2 තවද නුඹලා සටනට ළංවෙන කල්හි පූජකයා සෙනඟ ළඟට අවුත් කථාකරමින්: 3 ඉශ්‍රායෙල්වරුනි, අසන්න, නුඹලා අද නුඹලාගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. නුඹලාගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න. 4 මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා. 5 මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත. 6 මිදි වත්තක් වවා එහි ඵල භුක්ති නොවින්ද මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් එය භුක්ති විඳිනවා ඇත. 7 ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය. 8 මුලාදෑනීහු සෙනඟට තවත් කථාකර: භයවෙන්නාවූ ක්ලාන්ත සිතක් ඇත්තාවූ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙට හැරීයේවා, නැත්නම් ඔහුගේ සිත මෙන් ඔහුගේ සහෝදරයන්ගේ සිත්ද දියවෙනවා ඇතැයි කියන්ට ඕනෑය. 9 මුලාදෑනීන් සෙනඟට කථාකර තීන්දුවූ කල්හි ඔව්හු සෙනඟ කෙරෙහි සේනාපතියන් පත්කෙරෙත්වා. 10 නුඹ නුවරකට විරුද්ධව සටන්කරන්ට ළංවන කල්හි ඊට සමාදානය ප්‍රකාශකරන්න. 11 නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය. 12 ඒ නුවර වනාහි නුඹ සමඟ සමාදාන වෙන්ට අකැමැතිව නුඹට විරුද්ධව යුද්ධකරන්නේ නම් නුඹ ඒක වටලන්න. 13 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹ අතට පාවාදුන් කල්හි එහි සිටින සියලු පිරිමින්ට කඩු මුවහතින් පහර දෙන්න. 14 නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එනම් එහි මුළු කොල්ලයද නුඹලාටම කොල්ලයක් පිණිස අරගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන්නාවූ නුඹේ සතුරන්ගෙන් ගන්න කොල්ලය නුඹට කන්නට පුළුවන. 15 මෙහි සිටින මේ ජාතීන්ගේ නුවරවල් නොවන්නාවූ නුඹෙන් ඉතා ඈත්ව තිබෙන සියලු නුවරවලට එසේ කරන්න. 16 එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න. 17 තමුන්ගේ දෙවිවරුන් සඳහා ඔවුන් කළ සියලු පිළිකුල් ක්‍රියා ලෙස කරන්ට ඔවුන් නුඹලාට නූගන්වන පිණිසද, එසේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹලා පව් නොකරන පිණිසද, 18 හිත්තීවරුද අමෝරිවරුද කානානිවරුද පෙරිස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹ විසින් සහමුලින්ම විනාශකර දැමිය යුතුය. 19 නුඹ යම් නුවරක් අල්ලාගන්ට ඊට විරුද්ධව යුද්ධකරමින් බොහෝ දවස් ඒක වටලාගෙන ඉන්න අතර එහි තිබෙන ගස් පොරොවෙන් කපා නාස්ති නොකරන්න; මක්නිසාද නුඹට ඒවායෙන් කන්ට පුළුවන, ඒවා කපා නොදමන්න; කුමක්හෙයින්ද නුඹ විසින් වටලනු ලබන පිණිස කෙතේ වෘක්ෂය මනුෂ්‍යයෙක්ද? 20 කෑමට නුසුදුසු බව නුඹ දන්නා ගස් පමණක් කපා නාස්තිකර, නුඹට විරුද්ධව යුද්ධ කරන නුවර පරාජය වනතුරු ඊට විරුද්ධව පවුරු ගොඩනගන්න. |
Ceylon Bible Society
Ceylon Bible Society