ද්විතීය නීතිය 15 - Sinhala Revised Old Versionනිදහස් අවුරුද්ද 1 හැම අවුරුදු සතක කෙළවරදී නුඹ විසින් මුදාලීමක් කළ යුතුය. 2 මුදාලීමේ පිළිවෙළ මෙසේය: තමාගේ අසල්වාසියාට ණයට දුන් කවුරු නුමුත් ණයට දෙනලද්ද තමාගේ අසල්වාසියාගෙන්වත් සහෝදරයාගෙන්වත් අයනොකර මිදීමක් දෙන්ට ඕනෑය; මක්නිසාද ස්වාමීන්වහන්සේ දෙන මිදීම ප්‍රකාශකරනලද්දේය. 3 පරදේශියෙකුගෙන් නම් ඒක අයකරන්ට නුඹට පුළුවන. එහෙත් නුඹට අයිති යමක් නුඹේ සහෝදරයා ළඟ ඇද්ද, නුඹ එය නිදහස්කර දෙන්න. 4 කොයි හැටි වුවත් නුඹ වෙත දිළින්දෙක් නොසිටිය යුතුය; මක්නිසාද මා විසින් අද නුඹට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න හැටියට නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට මනාකොට ඇහුම්කන්දෙන්නෙහිනම්, 5 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකර ගැනීමට උරුමයක් කොට දෙන දේශයේදී ස්වාමීන්වහන්සේ නුඹට සැබවින් ආශීර්වාද කරනවා ඇත; 6 එසේය, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවූ ලෙස නුඹට ආශීර්වාද කරන නිසා, නුඹ බොහෝ ජාතීන්ට ණය දෙන්නෙහිය, නුමුත් ණය නොගන්නෙහිය; නුඹ බොහෝ ජාතීන් කෙරෙහි අධිපතිකම්කරන්නෙහිය, නුමුත් ඔව්හු නුඹ කෙරෙහි අධිපතිකම් නොකරන්නෝය. 7 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව, 8 නුඹේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය. 9 නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න. 10 නුඹ ඔහුට දෙන්ටම ඕනෑය, නුඹ ඔහුට දෙන විට නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සියලු වැඩවලදීත් නුඹේ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාදකරනවා ඇත. 11 දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් නුඹේ දේශයෙහිදී නුඹේ සහෝදරයාවූ නුඹේ දුප්පතාටත් නුඹේ දිළින්දාටත් නුඹේ අත සැබවින් විදහන්නැයි නුඹට අණකරමි. 12 නුඹේ සහෝදරවූ හෙබ්‍රෙව් පුරුෂයෙක්වත් හෙබ්‍රෙව් ස්ත්‍රියෙක්වත් නුඹට විකුණනලදුව සාවුරුද්දක් නුඹට මෙහෙකළොත්, සත්වෙනි වර්ෂයෙහි ඔහු නුඹ වෙතින් නිදහස්කර හරින්න. 13 ඔහු නුඹ වෙතින් නිදහස්කර හරින කල්හි ඔහු හිස් අතින් නෑර, 14 නුඹේ එළු බැටළු රැළෙන්ද නුඹේ පාවරෙන්ද නුඹේ මිදි පැසෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ හැටියට ඔහුට නොමසුරු ලෙස දිය යුතුය. 15 නුඹ මිසර දේශයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මිදූ බවද සිහිකරන්න. එබැවින් මම අද මේ දෙය නුඹට අණකරමි. 16 එහෙත් ඔහු නුඹ සමඟ හොඳින් සිට නුඹටත් නුඹේ පවුලටත් ප්‍රේමකරන බැවින්: මම නුඹෙන් අහක්වී නොයන්නෙමියි කියන්නේ නම්, 17 විදින කටුවක් අරගෙන ඔහුගේ කන දොරට තදකර තබා විදින්න, මෙසේ ඔහු හැම කල්හිම නුඹේ දාසයා වන්නේය. නුඹේ දාසීටත් එසේම කරන්න. 18 නුඹ කෙරෙන් ඔහු නිදහස් කර හැරීම නුඹට අමාරු කාරණාවක් ව නොපෙනේවා; මක්නිසාද ඔහු සාවුරුද්දක් කුලීකාරයෙකුගේ වැඩෙන් දෙපංගුවකට වඩා නුඹට වැඩකෙළේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද නුඹ කරන සියල්ලේදී නුඹට ආශීර්වාදකරනවා ඇත. 19 නුඹේ ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද උපදින සියලු කුලුඳුල් පිරිමි සතුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කැපකරන්න. නුඹේ ගවයන්ගේ කුලුඳුලාගෙන් වැඩනොගන්න, නුඹේ බැටළුවන්ගේ කුලුඳුලාගෙන් ලෝමද නොකපන්න. 20 ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේදී අවුරුද්දෙන් අවුරුද්ද නුඹ සහ නුඹේ ගෙයි වැසියෝ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උගේ මස් කන්න. 21 එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. 22 ඌද නුඹේ දොරටු ඇතුළතදී කන්න. මුව මස්ද ගෝන මස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් එකාකාරයෙන් එය කන්ට පුළුවන. 23 එහෙත් උගේ ලේ නොකා එය වතුර මෙන් පොළොව පිට වත්කරන්න. |
Ceylon Bible Society
Ceylon Bible Society