ද්විතීය නීතිය 14 - Sinhala Revised Old Versionආහාර සම්බන්ධ නීති 1 නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් නුඹලාගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න. 2 මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක. 3 කිසි පිළිකුල් දෙයක් නොකන්න. 4 නුඹලාට කන්ට පුළුවන්වූ මෘගයෝනම්: 5 ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය. 6 මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් නුඹලාට කන්ට පුළුවන. 7 එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද නුඹලා නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය. 8 ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය. 9 ජලයෙහි ඉන්න සියල්ලන් අතරෙන් නුඹලාට කන්ට පුළුවන් මේ සත්තුය, එනම් වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන. 10 වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු නුඹලා විසින් නොකෑ යුතුය; ඌ නුඹලාට අපවිත්‍රය. 11 සියලු පවිත්‍ර පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන. 12 එහෙත් නුඹලා කන්ට යුතු නැති පක්ෂීහු නම්: රාජාලියාත් මහගිජුලිහිණියාත් මුහුදු උකුස්සාත්ය; 13 ගුරුළාත් කුරුළුගොයාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය; 14 ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝය; 15 පැස්බරාත් රෑ උකුස්සාත් මුහුදු ලිහිණියාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය; 16 බස්සාත් බකමූණාත් උලමාත්; 17 කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය; 18 මානකොකාත් ඒ ඒ වර්ගයේ කොක්කුත් හුපුවාත් වවුලාත්ය. 19 පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු නුඹලාට අපවිත්‍රය. උන් නොකෑ යුතුය. 20 පවිත්‍රවූ සියලු පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන. 21 ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය. 22 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ නුඹේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර, 23 නුඹේ ධාන්‍යවලිනුත් මුද්‍රික රසයෙනුත් තෙල්වලිනුත් දසයෙන් කොටසද නුඹේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී උන්වහන්සේ ඉදිරියෙහි කන්න. 24 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන කල්හි උන්වහන්සේ ස්වකීය නාමය තබන්ට තෝරාගන්න ස්ථානය නුඹට දුර නිසා ඒවා ගෙනයන්ට බැරි ලෙස ඒ ගමන නුඹට දුර වැඩි නම්, 25 ඒවා මිලේටදී, ඒ මුදල නුඹේ අතේ බැඳ තබාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස් 26 නුඹේ හිතට රුචිවන කොයි දෙයකට නුමුත් එනම් ගවයන්ට හෝ බැටළුවන්ට හෝ මුද්‍රිකපානයට හෝ මද්‍යපානයට හෝ නුඹේ සිත නුඹට කියන කොයි දෙයකට නුමුත් ඒ මුදල දී ඒවා රැගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹද නුඹේ ගෙයි වැසියෝද කා ප්‍රීතිවෙන්න. 27 නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාත් අත්නොහරින්න; මක්නිසාද ඔහුට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැත. 28 හැම තුන් අවුරුදු කෙළවරදී ඒ අවුරුද්දේ නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම පිටතට ගෙනවුත් නුඹේ දොරටු ඇතුළෙහි තබන්න. 29 එවිට ලෙවීයයාට නුඹ සමඟ කොටසක්වත් උරුමයක්වත් නැති බැවින් ඔහුත් නුඹේ දොරටු ඇතුළත සිටින විදේශියාත් පියා නැත්තාත් වැන්දඹුවත් අවුත් කා තෘප්තියට පැමිණෙත්වා; මෙසේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ කරන නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹට ආශීර්වාදකරනවා ඇත. |
Ceylon Bible Society
Ceylon Bible Society