Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ද්විතීය නීතිය 13 - Sinhala Revised Old Version


රූප වන්දනාවට වැටීම ගැන අවවාද

1 නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,

2 නුඹ දැනනොගත්: අන් දෙවිවරුන් අනුව අපි ගොස් ඔවුන්ට සේවය කරමුයයි කියමින්, ලකුණක් හෝ ආශ්චර්යයක් නුඹට නියමකළ කල්හි, ඔහු නුඹට කී ලකුණත් ආශ්චර්යයත් සිද්ධවුණත්,

3 ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.

4 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.

5 ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.

6 නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,

7 නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත්: අන් දෙවිවරුන්ට අපි ගොස් සේවය කරමුයයි නුඹේ මවුගේ පුත්‍රවූ නුඹේ සහෝදරයාවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ ළයෙහි හොත් භාර්යාවවත් නුඹේම ප්‍රාණය වැනිවූ මිත්‍රයාවත් නුඹට රහසින් කියා නුඹ පොළඹවන්ට උත්සාහකරන්නේවී නම්,

8 නුඹ ඔහුට එකඟනොවෙන්න, ඔහුට ඇහුම්කන්නොදෙන්න; නුඹේ ඇස ඔහුට දයානොකෙරේවා, ඔහු ඉතුරු කරන්නේවත් සඟවන්නේවත් නැතුව,

9 නුඹ විසින් ඔහු මැරිය යුතුමය; ඔහු මරන පිණිස පළමුකොට නුඹේ අතද පසුව මුළු සෙනඟගේ අත්ද ඔහු පිට තබනු ලැබේවා.

10 වහල්කමේ ගෙයවූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙන් නුඹ අහක්කරන්ට සෙවූ බැවින්, ඔහු මැරෙන පිණිස ඔහුට ගල්ගසන්ට ඕනෑය.

11 සියලු ඉශ්‍රායෙල්වරු ඒ අසා භයවී එබඳු දුෂ්ටකමක් නුඹලා අතරෙහි තවත් නොකර සිටින්නාහුය.

12 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ වාසය කරන්ට දෙන නුවරකදී සමභර අධමයන් නුඹලා අතරෙන් නික්ම ගොස්:

13 නුඹලා දැන නොගත්තාවූ අන් දෙවිවරුන්ට සේවයකරන්ට යමුයයි කියමින් තමුන්ගේ නුවරවාසීන් අහක්කර ගන්නාලදැයි කියනවා නුඹ ඇසුවොත්,

14 නුඹ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් නුඹලා අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,

15 ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.

16 එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.

17 විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,

18 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන්දෙන කල්හි, ස්වාමීන්වහන්සේ තමන්ගේ තද උදහසෙන් හැරී නුඹට කරුණාව පෙන්වා, නුඹට අනුකම්පාකර නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹ වැඩිකරනවා ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්