ද්විතීය නීතිය 12 - Sinhala Revised Old Versionදේශයේදී ආශීර්වාද ලැබීමට ඇති කාරණා 1 නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය. 2 නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට, 3 ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න. 4 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන නුඹලා එයාකාර නොකර, 5 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න. 6 නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්, 7 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළ නිසා, නුඹලා අත තබන සියල්ල ගැන නුඹලාද නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීතිවන්න. 8 මෙහි අප විසින් මේ දවසේ එකිනෙකා තම තමාට හරිව පෙනෙන කොයි දේත් කරන්නාක් මෙන් නුඹලා එහිදී නොකළ යුතුය. 9 මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන නියම වාසස්ථානයටත් උරුමයටත් නුඹලා තවම පැමුණුණේ නැත. 10 එහෙත් නුඹලා යොර්දානෙන් එතරට ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, නුඹලා සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින නුඹලාගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ නුඹලාට විශ්‍රාමය දුන් කල්හිද, 11 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය පිහිටුවන්ට තෝරාගන්නාවූ ස්ථානයට මා විසින් නුඹලාට අණකරන නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලා කැමැත්තෙන්ම වෙන්නාවූ නුඹලාගේ සියලු විශිෂ්ට බාරද ගෙනවුත්, 12 නුඹලාද නුඹලාගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද නුඹලාගේ දොරටු ඇතුළත සිටින්නාවූ, නුඹලා සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න. 13 නුඹ දකින සියලු තැන්හිම නුඹේ දවන පූජා නොපුදන්ට බලාගන්න. 14 නුමුත් නුඹේ ගෝත්‍රයන්ගෙන් එකක් තුළවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා වූ ස්ථානයෙහිම නුඹේ දවන පූජා පුදා මා විසින් නුඹට අණකරන සියල්ලත් එහිම කරන්න. 15 එසේ වී නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන ආශීර්වාදයේ හැටියට නුඹේ සියලු දොරටු ඇතුළේ නුඹේ සිතේ මුළු ආශාවේ හැටියට නුඹට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන. 16 නුමුත් ලේ නොකා එය වතුර මෙන් භූමිය පිට වත්කරන්න. 17 නුඹේ ධාන්‍යයෙන්ද මුද්‍රික රසයෙන්ද, තෙලින්ද දෙන දසයෙන් කොටසවත් නුඹේ ගවයන්ගේද එළු බැටළුවන්ගේද කුලුඳුලන්වත් නුඹ වෙන්නාවූ නුඹේ කිසි බාර පූජාවක්වත් නුඹේ ස්වෙච්ඡා පූජාවල්වත් නුඹේ අතේ එසවීම් පූජාවවත් නුඹේ දොරටු ඇතුළතදී නොකෑ යුතුය. 18 නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයේදී, නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ දාසයාද නුඹේ දාසීද නුඹේ දොරටු ඇතුළත වසන ලෙවීයයාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා කා, නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න. 19 නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න. 20 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස නුඹේ සීමාව විශාලකළ කල්හි මස් කන්ට නුඹේ සිත ආශාවෙන නිසා: මම මස් කන්නෙමියි නුඹ කියන විට නුඹේ සිතේ මුළු ආශාව ලෙස මස් කන්ට පුළුවන. 21 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න. 22 මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන. 23 එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් නුඹ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය. 24 නුඹ එය නොකා වතුර මෙන් එය භූමිය පිට වත්කළ යුතුය. 25 ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න. 26 නුඹට තිබෙන නුඹේ ශුද්ධ දේවල්ද නුඹේ බාරවල්ද රැගෙන ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට පැමිණ, 27 නුඹේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්න. නුඹේ යාග පූජාවල ලේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය නුඹට කන්නට පුළුවන. 28 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න. 29 නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට, 30 ඔවුන් නුඹ ඉදිරියෙන් විනාශකරනු ලැබූ පසු, නුඹ ඔවුන් අනුව යාමට අසුනොවෙන හැටියටත්: මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද, මමත් එලෙස කරන්නෙමියි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලාගන්න. 31 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති. 32 මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය. |
Ceylon Bible Society
Ceylon Bible Society